පළමු පරිච්ඡේදය නමො තස්ස භගවතො සම්මා සම්බුද්ධස්ස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක උන්වහන්සේ කරා එළඹැ වැඳැ එකත්පස් වැ සිටැ මෙසේ විතාළේය. “අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං[58]” “ඇතුළත ද අවුල ය පිටත ද අවුල ය. මුළු සත්ත්ව වර්ගයා මේ අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්වඥයන් වහන්ස එබැවින් මම ඔබගෙන් විතාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද” යනු එහි භාවයි. විස්තරය මෙසේය:- හුණ ලැහැබෙක අතුපතුර මුල පටන් අග දක්වා ද අග පටන් මුල දක්වා ද හැසී ගැවැසී සිටිනා සේ තෘෂ්ණාව රූපාලම්බනයෙහි පටන් ධර්මාලම්බනය දක්වා ද ධර්මාලම්බන යෙහි පටන් රූපාලම්බනය දක්වා ද හැසී ගැවසී පවත්නේ ය. එබැවින් තෘෂ්ණාවට මෙහි දී ජටා හෙවත් අවුල යයි කියන ලදී. ඒ තෘෂ්ණාව වනාහි ස්වකීය ආත්ම භාව අධ්‍යාත්මික ආයතන පිළිබඳ වැ උපදනා කල අන්තො ජටා ඇතුළ අවුල යයි ද, පරකීය පරිෂ්කාර පරකීය ආත්ම භාව බාහිර ආයතන පිළිබඳ වැ උපදනා කල බහිජටා- පිටත අවුල යයි ද කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්ත්වයෝ මේ අන්තො ජටායෙන් හා බහිජටායෙන් අවුල් ව...
Comments
Post a Comment