සිංහල විශුද්ධිමාර්‍ගය




පළමු පරිච්ඡේදය

නමො තස්ස භගවතො සම්මා සම්බුද්ධස්ස

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක උන්වහන්සේ කරා එළඹැ වැඳැ එකත්පස් වැ සිටැ මෙසේ විතාළේය.

“අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං[58]”

“ඇතුළත ද අවුල ය පිටත ද අවුල ය. මුළු සත්ත්‍ව වර්‍ගයා මේ අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්‍වඥයන් වහන්ස එබැවින් මම ඔබගෙන් විතාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද” යනු එහි භාවයි.

විස්තරය මෙසේය:-

හුණ ලැහැබෙක අතුපතුර මුල පටන් අග දක්වා ද අග පටන් මුල දක්වා ද හැසී ගැවැසී සිටිනා සේ තෘෂ්ණාව රූපාලම්බනයෙහි පටන් ධර්මාලම්බනය දක්වා ද ධර්මාලම්බන යෙහි පටන් රූපාලම්බනය දක්වා ද හැසී ගැවසී පවත්නේ ය. එබැවින් තෘෂ්ණාවට මෙහි දී ජටා හෙවත් අවුල යයි කියන ලදී. ඒ තෘෂ්ණාව වනාහි ස්වකීය ආත්ම භාව අධ්‍යාත්මික ආයතන පිළිබඳ වැ උපදනා කල අන්තො ජටා ඇතුළ අවුල යයි ද, පරකීය පරිෂ්කාර පරකීය ආත්ම භාව බාහිර ආයතන පිළිබඳ වැ උපදනා කල බහිජටා- පිටත අවුල යයි ද කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්ත්වයෝ මේ අන්තො ජටායෙන් හා බහිජටායෙන් අවුල් වැ සිටිති. යම් හෙයකින් අවුල් වැ සිටිත් ද එහෙයින් ගෞතම ස්වාමිදරුවාණෙනි මම ඔබවහන්සේගෙන් විචාරමි. මේ අවුල කපාලන්නට කවුරු සමර්ථ ද

මෙසේ පුළුවුත්නා ලද සර්‍වඥ ශාසතෘන් වහන්සේ ඒ දෙව් පුත්හු ගේ ප්‍ර‍ශ්නය විසඳන සේක්

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටාය ජටං[59]”

යී වදාල සේක.

මේ ගාථාව වර්‍ණනා කිරීම් වශයෙන් අර්‍ථකථාචාර්‍ය්‍ය බුද්ධඝොස මහා ස්ථවිරයන් වහන්සේ සසුන් වැදැ පැවිදි වූ නිවන් කැමැති යෝගීන්ගේ ප්‍රමෝදය සඳහා මහා වීහාර වාසීන්ගේ පරිශුද්ධ විනිශ්චයයෙන් හා නානාවිධ දේශනා නයින් ප්‍ර‍තිමණ්ඩිත වූ විශුද්ධිමාර්‍ග නම් උතුම් ධර්‍මග්‍ර‍න්‍ථය පාළිභාෂායෙන් රචනා කරන ලද්දේය. පාළි භාෂාව නොදත් ශ්‍ර‍ද්ධා සම්පන්න බෞද්ධ සාධූන්ගේ ප්‍රයෝජනය සඳහා මවිසින් එය සිංහල භාෂාවට පරිවර්‍තනය කරනු ලැබේ. ආදර උපදවා සියල්ලන් විසින් ශ්‍ර‍වණ ධාරණ කළයුතු.

වීශුද්ධිමාර්‍ග යනු කුමක්ද

කිසියම් කිලුටක් නැති බැවින් හා ඉතා පිරිසිදු බැවින් නිර්වාණයට විශුද්ධි යයි කියනු ලැබේ. ඒ විශුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්‍ගය-විශුද්ධි මාර්‍ගය යි. මාර්‍ග නම් අධිගම උපාය (නිර්වාණයට යා හැකි උපාය-විශුද්ධි මාර්‍ගය යි කී නිසා මෙයින් දත යුතු.)

ඒ මේ විශුද්ධි මාර්‍ග සංඛ්‍යාත නිර්වාණ අධිගමෝපාය වනාහි ඇතැම් තැනෙක විදර්ශනා මාත්‍ර‍ වශයෙන් ද, ඇතැම් තැනෙක ධ්‍යාන-ප්‍ර‍ඥා වශයෙන් ද, ඇතැම් තැනෙක කර්මාදි වශයෙන් ද, ඇතැම් තැනෙක ශීලාදි වශයෙන් ද, ඇතැම් තැනෙක සතිපට්ඨානාදි වශයෙන් ද වදාරන ලද්දේය. ඒ එසේ මැ යි.

“සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා”[60]

“සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහ’යි යම් විටෙක නුවණින් දක්නේ ද, එවිට දුඃඛයෙහි උකටළි වන්නේ ය” මෙහි විදර්ශනා මාත්‍ර‍ය විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. විදර්ශනා නම්, සියලු සංස්කාර ධර්‍මයන් අනිත්‍යාදි වශයෙන් සැලකීමයි.

“යම්භිඣානං ච පඤ්ඤා ච - සවෙ නිබ්බාණසන්තිකෙ”

“යමෙක් කෙරෙහි ධ්‍යානය හා ප්‍ර‍ඥාව ඇත්තේ ද හෙතෙම නිර්වාණය අසල වන්නේ ය” මෙහි ධ්‍යාන, ප්‍ර‍ඥා දෙක විශුද්ධිමාර්‍ගය යි වදාළේය.

“කම්මං විජ්ජා ච ධම්මො ච - සීලං ජීවිතමුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්තී - නගොත්තෙන ධනෙන වා”[61]

මෙහි කර්‍ම, විද්‍යා, ධර්‍ම, ශීල යන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. “මාර්‍ග චේතනාය මාර්‍ග ප්‍ර‍ඥාය, සමාධිපාක්‍ෂික ධර්‍මය සීලයෙහි පිහිටියහුගේ උත්තම ජීවිතය, නොහොාත් විජ්ජා සංඛ්‍යාත සම්මාදිට්ඨි, සම්මාසංකප්පය, ධම්ම සංඛ්‍යාත සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධිය, සීල සංඛ්‍යාත සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීවය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් මනුෂ්‍යයෝ පිරිසිදු වෙති. ගොත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්” යනු ගාථාවෙහි අදහසය.

“සබ්බදා සීලපම්පන්නො - පඤ්ඤවා සුසමාහිතො
ආරද්ධවිරියො පහිතත්තො - ඔඝං තරති දුත්තරං”[62]

මෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය නිවනට මඟ යයි වදාළේය. ‘ඇමකල්හි සිල්වත් වූ සාමාධිමත් වූ ප්‍ර‍ඥාවත් වූ පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති මහණ එතර විය නො හැකි කාමාදි චතුරෝඝය එතර කරන්නේ ය” යනු ගාථාවේ අදහස ය.

“එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා පෙ........
නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා”[63]

මෙහි සතර සතිපට්ඨාන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය-නිවනට මඟ යයි වදාළේ ය. මහණෙනි යම් සතර සතිපට්ඨාන ධර්‍ම කෙනෙක් වෙත් ද ඔවුහු සත්ත්‍වයන් ගේ විසුද්ධිය පිණිස, නිවන් අවබෝධය පිණිස ඒකායන මාර්‍ගය වන්නේ ය” යනු අදහස යි.

මෙසේ දක්වන ලද නානාවිධ විශුද්ධිමාර්‍ග - නිවන් මං අතුරෙන් මේ “සීලෙ පතිට්ඨාය” යනාදි ප්‍ර‍ශ්න ව්‍යාකරණයෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ග-නිවනට මඟ යයි වදාළ සේක. (ඒ විශුද්ධිමාර්‍ග ප්‍ර‍කාශක ග්‍ර‍න්‍ථය ද විශුද්ධිමාර්‍ග නම් විය.)

ගාථායෙහි පදාර්‍ථ මෙසේ ය:-

සපඤ්ඤො= (ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥායෙන්) ප්‍ර‍ඥාවත් වූ, නරො = යම් සත්ත්‍වයෙක්; සීලෙ පතිට්ඨාය = සීලයෙහි පිහිටා; චිත්තං ච = සමාධියද; පඤ්ඤං ච = විදර්‍ශනාව ද; වඩන්නේ; ආතාපී = කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ; නිපකො = පාරිභාරිය - ප්‍ර‍ඥා ඇත්තේ වෙයිද; සො භික්ඛු = ඒ මහණ; ඉමං ජටං = මේ තෘෂ්ණා නමැති අවුල; විජටයෙ = නිරවුල් කරන්නේ ය; සිඳලන්නේ ය; යූ සේයි.

ගාථායෙහි එක් එක් පදයෙක විවරණය මෙසේ ය:-

සීලෙ පතිට්ඨාය= සීලයෙහි සිටැ සීලය පුරන්නා ම මෙහි සීලයෙහි සිටියේ යයි කියනු ලැබේ. එහෙයින් සිල් පිරීම් වශයෙන් සීලයෙහි පිහිටා යන අර්‍ථයි.

නරො= සත්ත්‍ව තෙමේ.

සපඤ්ඤො= කර්‍මජ ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥායෙන් ප්‍ර‍ඥා ඇත්තේ ය.

(අහේතුක හෝ ද්විහේතුක ප්‍ර‍තිසන්‍ධි චිත්තයෙන් උපන්නහුට ඒ අත්බැව්හි තෘෂ්ණා අවුල කැපිය නොහැක. ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි චිත්තයෙන් උපන්නේ මැ තෘෂ්ණා අවුල කපා, තෘෂ්ණා අවුල කැපීම නම් රහත් වීම ය. අහේතුක ද්විහේතුකයනට රහත්වනු තබා ධ්‍යානවත් සෙසු මාර්‍ග ඵලවත් නොලද හැක.

චිත්තං පඤ්ඤං ච භාවයං= සමාධියද, විදර්‍ශනාව ද, වඩන්නේ. මෙහි චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය ද, ප්‍ර‍ඥා නාමයෙන් විදර්‍ශනාව ද, දක්වන ලදී.

ආතාපී= වීර්‍ය්‍ය ඇත්තේ. වීර්‍ය්‍යය වනාහි කෙළෙස් තවන අර්‍ථයෙන් ආතාප යයි කියනු ලැබේ. ආතාප ඇත්තේ ආතාපී.

නිපකො= ප්‍ර‍ඥා ඇත්තේ. නේපක්ක නම් ප්‍ර‍ඥා එයින් යුක්ත වූයේ නිපක. මෙයින් පාරිහාරිය ප්‍ර‍ඥාව දැක්විණි.

මේ ගාථායෙහි “1 සපඤ්ඤො, 2. පඤ්ඤංභාවයං, 3 නිපකො” යි තෙවරක් ප්‍ර‍ඥාව සඳහන් විය. එයින් ප්‍ර‍ථමය ජාති ප්‍ර‍ඥාව ය. ද්විතීය ය විදර්‍ශනා ප්‍ර‍ඥා ය. තෘතීය ය සර්‍වකෘත්‍යසාධක පාරිහාරිය ප්‍ර‍ඥා ය. (පාරිහාරිය ප්‍ර‍ඥා නම්, “අයං කාලො උද්දෙසස්ස අයං කාලො පරිපුච්ඡායාති ආදිනා නයෙන සබ්බත්‍ථකාරාපිකා පරිහරිතබ්බපඤ්ඤා”යි[64] සංයුත් අටුවායෙහි යූ බැවින් මේ උද්දෙසයට කාලය, මේ පරිපුච්ඡායට කාලයයි යනාදි නයින් සර්‍වාත්‍ථසාධක වූ පරිහරණය කළයුතු ප්‍ර‍ඥාය. උද්දෙස නම්, පාළිවාචනා පරිපුච්ඡා නම්, අට්ඨ කථා.)

භික්ඛු= සසර බිය දක්නේ භික්‍ෂු

සො ඉමං විජටයෙ ජටං= යට දැක්වුණු (ශීල, සමාධි, ත්‍රිවීධ ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන) සවැදෑරුම් ධර්‍මයන්ගෙන් යුක්ත වූ භික්‍ෂු තෙමේ ශක්ති සම්පන්න පිරිමියෙක් පොළොවෙහි සිටැ ගෙන තියුණු ආයුධය ඔසවා මහ හුණු ලැහැබක් කපා හෙලන්නා සේ ශීලයෙහි පිහිටා සමාධි නමැති නිකපාෂාණයෙහි මුවහත් තබන ලද විදර්‍ශනා ප්‍ර‍ඥා නමැති ආයුධය වීර්‍ය්‍ය බලයෙන් රුකුල් දෙන ලද පාරිහාරිය ප්‍ර‍ඥා නමැති හස්තයෙන් ඔසවා සිය සතන්හි පවත්නා සකල තෘෂ්ණා ජටාව කපා හෙලන්නේ ය. මාර්‍ග ක්‍ෂණයෙහි හෙතෙමේ කපා හෙළන්නේ නම් වේ. ඵල ක්‍ෂණයෙහි කපා හෙළුයේ සකල ලෝකයට අග්‍ර‍ දක්‍ෂිණාර්‍හ වන්නේ ය. එහෙයින් සර්‍වඥයන් වහන්සේ

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං”

යී වදාල සේක.

මෙහි දක්වන ලද ත්‍රිවිධ ප්‍ර‍ඥාවන් අතුරෙහි “සපඤ්ඤො” යි පළමු දැක්වුණු ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥාව සඳහා යෝගාවචරයා විසින් මේ අත්බැව්හි කළ යුත්තෙක් නැත. එය පූර්‍වකර්මානුභාවයෙන් මැ සිද්ධ විය යුතු බැවිනි.

ඔහු විසින් “ආතාපී-නිපකො” යි මෙහි දක්වන ලද වීර්‍ය්‍යයෙන් නිති උත්සාහවත් වැ ප්‍ර‍ඥායෙන් යහපත් විමසුම් ඇති වැ සීලයෙහි පිහිටා චිත්ත-පඤ්ඤා වශයෙන් වදාළ සමථ-විදර්‍ශනා වැඩිය යුතු වන්නේ ය. මෙසේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් විශුද්ධිමාර්‍ගය හෙවත් නිවනට මඟ වදාළ සේකැ යි දත යුතු. එපමණක් ද නොවේ. මේ ත්‍රිවිධ ධර්‍මයෙන් උන්වහන්සේ 1 ත්‍රිවිධ ශික්‍ෂා, 2 ත්‍රිවිධකල්‍යාණ ශාසන, 3 තෙවිජ්ජතාදීන්ට උපනිඃශ්‍ර‍ය, 4 උභයාන්තය හැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවන, 5 අපායාදී සමතික්‍ර‍මණ උපාය, 6 ත්‍රිවිධ සංක්ලේශ විශෝධන, 9 සෝතාපන්නතාදින්ට හේතු යන මෙතෙක් ධර්‍ම ප්‍ර‍කාශ කළ සේක.

1.   ත්‍රිවිධ ශික්ෂා නම්:- අධිශීල ශික්‍ෂා, අධීචිත්ත ශික්‍ෂා අධිප්‍ර‍ඥා ශික්‍ෂා යැ. එහි ශීලයෙන් අධිශීල ශික්‍ෂාවද, සමාධියෙන් අධිචිත්ත ශික්‍ෂාව ද, ප්‍ර‍ඥායෙන් අධිප්‍ර‍ඥා ශික්‍ෂාව ද දක්වන ලදී.

2.   ත්‍රිවිධ කල්‍යාණ ශාසන නම්:- ශාසනයාගේ ආදී කල්‍යාණ මජ්ඣෙ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ ය. ශීලයෙන් ශාසනයාගේ ආදි කල්‍යාණත්‍වය දැක්විණි.

ඒ එසේ මැ යි:- ශීලය ශාසනයාගේ ආදිය වේ. “කොචාදී කුසලානං ධම්මානං සීලං ච සුවිසුද්ධං”[65] “සබ්බ පාපස්ස අකරණං” යනාදීන් වදාළ හෙයිනි. ඒ ශාසනයාගේ ආදි සංඛ්‍යාත ශීලය අවිප්පටිසාරාදි ගුණ එළවන බැවින් කල්‍යාණ වේ. අවිප්පටිසාර නම් විපිළිසර නොවීම. “සීලං අවිප්පටිසාරය” යනාදීන් වදාළ හෙයිනි.

සමාධියෙන් ශාසනයාගේ මධ්‍ය කල්‍යාණත්‍වය දැක්විණි. ඒ එසේ මැ යි:- සමාධිය ශාසනයාගේ මාධ්‍ය යැ. “කුසලස්ස උපසම්පදා”[66] යනාදීන් වදාළ හෙයිනි. හෙ ද සෘධිවිධාදි ගුණ එළවන හෙයින් කළ්‍යාණ ය වේ.

ප්‍ර‍ඥායෙන් පරියොසානා කළ්‍යාණතා දැක්විණි. ඒ එසේ මැ යි:- ප්‍ර‍ඥාව ශාසනයාගේ අවසානය වේ “සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං”[67] යනු වදාළ හෙයින් හා ශ්‍රේෂ්ඨ බැවිනි. හේ ඉෂ්ටානිෂ්ටාරම්මණයෙහි නොසැලෙන බව ගෙන දෙන බැවින් කළ්‍යාණ වේ. වදාළේ මැ යි.

“සෙලො යථා එකඝනො - වාතෙන න සමිරති,
එවං නින්‍දාපසංසාසු - න සමිඤ්ජන්ති පණ්ඩිතා”[68]

“ඒකඝන ශෛල පර්‍වතයක් වාතයෙන් කම්පිත නොවන්නා සේ පණ්ඩිතයෝ නින්‍දා ප්‍ර‍ශංසා දෙකින් කම්පිත නොවෙත්” යනු භාවයි.

3.   තේවිජ්ජතාදීන්ට උපනිඃශ්‍ර‍ය නම්: ත්‍රිවිද්‍යා-ෂට්අභිඥා චතුපටිසමහිදා ලබා ගැන්මට හේතුවන බව ය.

ඒ එසේ මැ යි:- සීලයෙන් ත්‍රිවිද්‍යාවට උපනිඃශ්‍ර‍ය බව දර්ශිත ය.

සීලසම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාව ලබයි. ඉන් වැඩියක් නො ලබයි. සාමාධියෙන් ෂඩභිඥාවට උපනිඃශ්‍ර‍ය බව දර්ශිතය. සමාධිසම්පත් නිසා ෂට් අභිඥා ලබයි. ඉන් වැඩියෙන් නො ලබයි. ප්‍ර‍ඥායෙන් සිව්පිළිසිඹියාවට උපනිඃශ්‍ර‍ය දර්ශිත ය. ප්‍ර‍ඥායෙන් මැ සිව්පිළිසිඹියා ලබයි. අනෙක් හේතුවකින් නො ලබයි.

4.   උභයාන්නය හැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවනය නම්:- කාමසුඛානුයෝගය හා අත්තකිලමථානුයෝගය දුරුකොට මධ්‍යම ප්‍ර‍තිපදායෙහි යෙදීම ය. ශීලයෙන් කාමසුඛානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. සමාධියෙන් අත්තකිලමථානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. ප්‍ර‍ඥායෙන් මධ්‍යම ප්‍ර‍තිපදා සේවනය දර්ශිතයි.

5.   අපායා දි සමතික්‍ර‍මණ උපාය නම්:- අපායෙන් ද, කාම භාවයෙන් ද, සියලු භවයෙන් ද දුරුවීමේ උපායයි. ශීලයෙන් අපාය කෙරෙන් දුරුවීමේ උපාය ද, සමාධියෙන් කාමභවයෙන් දුරුවීමේ උපායය ද, ප්‍ර‍ඥායෙන් කාමරූප අරූප යන සියලු භවයන්ගෙන් දුරුවීමේ උපාය ද දක්වන ලදී.

6.   ත්‍රිවිධක්ලේශ ප්‍ර‍හාණ නම්:- තදඞ්ගප්පහාණ, වික්ඛම්හනප්පහාණ, සමුච්ඡේදප්පහාණයි. ශීලයෙන් තදඞ්ගප්පහාණ වශයෙන් ද, සමාධියෙන් වික්ඛම්හනප්පහාණ වශයෙන් ද, ප්‍ර‍ඥායෙන් සමුච්ඡේදප්පහාණ වශයෙන් ද කෙලෙස් ප්‍ර‍හාණය දක්වන ලදී.

7.   ව්‍යතික්‍ර‍මාදි ප්‍ර‍තිපක්‍ෂභාව නම්:- ක්ලේශයන් ගේ ව්‍යතික්‍ර‍ම, පරියුට්ඨාන, අනුසයයන්ට විරුද්ධ භාවයයි. ව්‍යතික්‍ර‍ම නම් සමාදන්වූ ශික්‍ෂාපද බිඳපීම ය. පරියුට්ඨාන නම්, ක්ලේශයන් නැඟී සිටීමය. අනුසය නම් කෙලෙසුන් නිදි ගෙන මෙන් සිය සතක්හි ගුප්ත වැ සිටීම යි. ශීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යාතික්‍ර‍ම ප්‍ර‍තිපක්‍ෂ භාවය ද, සමාධිායෙන් පරියුට්ඨාන ප්‍ර‍තිපක්‍ෂභාවය ද, ප්‍ර‍ඥායෙන් අනුසය ප්‍ර‍තිපක්‍ෂභාවය ද දක්වන ලදී.

8.   ත්‍රිවිධ සංක්ලේශ විශෝධන නම් - දුශ්චරිත, තෘෂ්ණා, දෘෂ්ටි යන තෙවැදෑරුම් සංක්ලේශයන්ගෙත් පිරිසිදු වීම ය. ශීලයෙන් දුශ්චරිත සංක්ලේශ විශෝධනය ද, සමාධියෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනය ද, ප්‍ර‍ඥායෙන් දෘෂ්ටි සංක්ලේශ විශෝධනය ද දක්වන ලදී.

9.   සෝතාපන්නතාදීන්ට හේතු යි කී තන්හි ශීලයෙන් සෝවාන් බව හා සකෘදාගාමි බවට ද, සමාධියෙන් අනාගාමි බවට ද, ප්‍ර‍ඥායෙන් අර්‍හත් බවට ද හේතු දක්වන ලදී.


ඒ එසේමැ යි:- සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ශීලයෙහි පරිපූරකාරීහු ය. අනාගාමි පුද්ගලයා සමාධියෙහි පරිපූරකාරී ය. රහතන්වහන්සේ ප්‍ර‍ඥායෙහි පරිපූරකාරී සේක.

මෙසේ මේ ක්‍ර‍මයෙන් ත්‍රිවිධ ශික්‍ෂා, ත්‍රිවිධි කල්‍යාණ ශාසන, තෙවිජ්ජතාදීන්ට උපනිස්සය, උභයාන්තයහැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවන, අපායාදි සමතික්‍ර‍මණ උපාය, ත්‍රිවිධ ක්ලේශප්‍ර‍භාණ, ව්‍යතික්‍ර‍මාදි ප්‍ර‍තිපක්‍ෂභාව, ත්‍රිවිධ සංක්ලේශ විශොධන සෝතාපන්තාදීන්ට හේතු යන නවත්‍රිකයෝ ද මෙබඳු අන්‍ය ගුණත්‍රිකයෝද දක්වන ලදැ යි දත යුතු.

මේ මෙහි අති සංක්‍ෂේප ක්‍ර‍මයයි.

ප්‍ර‍ශ්න - උත්තර ව්‍යාජයෙන් විස්තර මතු දක්වනු ලැබේ.

1. සීල නම් කිම?
2. කවර අර්‍ථයකින් “සීල” යයි කියනු ලැබේ ද 
3. සීලයා ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? 
4. සීලයෙහි ආනිසංස කිම? 
5. සීලය කී වැදෑරුම් ද 
6. සීලය කිලිටිවන්නේ කෙසේ ද? 
7. සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන මෙහිලා ප්‍ර‍ශ්නයි.

එය එකක් පාසා ක්‍ර‍මයෙන් විසඳනු ලැබේ.

1.  සීල නම් කිම?

සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍ර‍ම, යන මේ ය.
වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[69] යි.

(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)

තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)

(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍ර‍ය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[70] යනාදීන් වදාළ හෙයිනි.

(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[71] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[72] යනාදි දේශනායෙහි සති සංවරය ද,
“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)
සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි
පඤ්ඤායෙතෙ පිථියරෙ”[73]

යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[74] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[75] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍ර‍යන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.

(4) අව්‍යතික්‍ර‍ම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.

“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.

2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද ?
සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍ර‍තිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍ර‍පඤ්ච (විස්තර) කෙරෙත්.

කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද
යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.
..................

3. සීලයාගේ ලක්‍ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද 
සීලයාගේ ලක්‍ෂණය යට දැක්වූ සීලනය මැ යි.

“සීලනං ලක්ඛණං තස්ස
භින්තස්සාපි අනෙකධා,
සනිදස්සනත්තං රූපස්ස
යථා භින්නස්ස නෙකධා”

‘නීලාදි වශයෙන් නානාවිධ වූ ද රූපයාගේ ලක්‍ෂණය සනිදර්‍ශන භාවයයි. රූපය නීලාදි වශයෙන් නානා භේද වුවද සනිදර්‍ශන භාවය නොහරන බැවිනි, එමෙන් චේතනාදි වශයෙන් නානාවිධ වූද සීලයාගේ ලක්‍ෂණය සමාධානය උපධාරණය යි දෙවැදෑරුම් කොටැ දක්වන ලද සීලනය මැයි. එබඳු භේද සහිත වුවත් සීලය සමාධානාර්‍ථ හෝ උපධාරනාර්‍ථ වූ හෝ සීලන ලක්‍ෂණය නොහරින බැවිනි. (ලක්‍ෂණ නම්, සාමාන්‍ය ස්වභාවයයි)

“දුස්සීල්‍ය විධංසනතා - අනවජ්ජගුණා තථා,
කිච්චසම්පත්ති අත්‍ථෙන - රසො නාම පවුච්චති.”

රස නම් :- කෘත්‍ය හෝ සම්පත්තිය. සීලයාගේ කෘත්‍ය රසය නම්, දුශ්ශීලත්‍වය විනාශ කිරීමයි. සම්පත්ති රසය නම්, නිරවද්‍ය ගුණයෝයි. (සීලයෙන් දුශ්ශීලත්‍වය වනසනු ලැබේ. එසේ මැ සීලයෙන් ධ්‍යානාදි ගුණ උපදවනු ලැබේ.)

“සොචෙය්‍යපච්චුපට්ඨානං - තයිදං තස්ස විඤ්ඤෑහි
ඔත්තප්පංච හිරිං චෙ ච - පදට්ඨානං‘ති වණ්ණිතං.”

පච්චුපට්ඨාන නම් :- වැටහෙන කාරණය, සීලයාගේ පච්චුපට්ඨානය නම්, කය - වචන - හිත යන ත්‍රිවිධ ද්වාරයාගේ පරිශුද්ධ භාවයයි වදාළේ මැ ය :- “කායසොචෙය්‍යං වචී සොචෙය්‍යං මනොසොචෙය්‍යං”[76] යි සොචෙය්‍ය නම්, සුවිභාව හෙවත් පිරිසිදු බව.

පදට්ඨාන නම් :- ආසන්න කාරණය, සීලයාගේ පදට්ඨාන නම්, හිරි - ඔතප් දෙක ය.

ඒ එසේ මැ යි - හිරි ඔතප් ඇති කල්හි මැ සීලය උපදනේත් වෙයි. පවත්නේත් වෙයි. හිරි ඔතප් නැති කල්හි සීලය කෙසේවත් නූපදනේ ය. නොපවත්නේ යි.

ශීලයාගේ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද? යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.


4. සීලයෙහි ආනිසංස කිම?

සීලයෙහි ආනිසංස නම් :- අවිප්පටිසාරාදි නොඑක් ගුණ ලැබීම ය. (අවිප්පටිසාර නම්, විපිළිසර නොවීම ය.)

වදාළේ මැ යි:- “අවිප්පටිසාරත්‍ථානි ඛො ආනන්‍ද කුසලානි සීලානී අවිප්පටි සාරානිසංසනි” යි.[77]

ආදි ශබ්දයෙන් මතු දක්වන ආනිසංස පංචකය ද ගන්න.

1.  මහත් වූ භෝගස්කන්‍ධ ලැබීම,
2.  කල්‍යාණ කීර්‍තතිශබද නැඟීම,
3.  ක්‍ෂත්‍රියාදි පිරිස් කරා විසා වැ එළඹීම,
4.  අසම්මූඪ වැ කාලක්‍රියා කිරීම,
5.  මරණින් මතු දෙව් ලෝ උපදීම.
වදාළේ මැ යි.

“පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සිලවතො සීලසම්පදාය කත මේ පඤ්ච? ඉධ ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවතො සීලසම්පන්නස්ස කල්‍යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සම්පන්නො යං යදෙව පරිසං උපසද්ඞ්කමති. යදි ඛත්තිය පරිසං, යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං, යදි සමණ පරිසං විසාරදො උපසඞ්කමති අමංකුභුතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො අසමමූළෙහා කාලං කරොති. අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. ඉමෙ ඛො ගහපතයො පඤ්චානිසංසා සීලවතො සීලසම්පදාය”[78] යි.

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය:-

ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි ලා මේ ආනිසංස පසෙකි. ඒ කවරේද, ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අප්‍ර‍මාදයෙන් මහත් වූ භෝගසකන්‍ධය ලැබ ගන්නේය. මේ පළමු වන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත්හුගේ කල්‍යාණ කීර්‍තති ඝෝෂයෙක් ලොව පැන නගින්නේය. මේ දෙවන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි, බ්‍රාහ්මණ පිරිසකට වේවයි, ගෘහපති පිරිසකට වේවයි ශ්‍ර‍මණ පිරිසකට වේවයි, විසාරද වැ නොමැකු වැ එළඹෙන්නේ ය. මේ තෙවන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අසම්මූඪ වැ කලුරිය කරන්නේ ය. මේ සිව්වන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ මරණින් මතු සුගති සවර්‍ගලෝකයෙහි උපදනේ ය. මේ පස්වන ආනිසංසය යයි. ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත් හි ලා මේ ආනිසංස පස වන්නේය.

තවද, “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්‍ර‍හ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙස්වෙවස්ස පරිපූරකාරී”[79] යනාදීන් මැදුම්සඟි ආකංඛෙය්‍ය සූත්‍රයෙහි රහත් බැව් හිම්කොට සබ්රම්සරුන්ට ප්‍රියමනාප වන බැව් ආදි අනේක ආනිසංසයෝ දක්වන ලදහ. “මහණෙනි සබ්රම්සරුන්ට ප්‍රියමනාප-ගුරු-සම්භාවනීය යන්නට කැමති නම් සිල් මැ පුරන්නේ ය.” යනු ඒ දෙශනා පාළියේ භාවය යි.

සාසනෙ කුලපුත්තානං - පතිට්ඨා නත්‍ථි යං විනා,
ආනිසංස පරිච්ඡෙදං - තස්ස සිලස්ස කො වදෙ.

න ගඞ්ගා යමුනා චාපි - සරගුවා සරස්සති,
නි තත්ගා වා-විරවතී - මහී චාපි මහානදි.

සක්කුණන්ති විසොධෙතු - තං මලං ඉධ පාණිනං,
විසොධයති සත්තාන - යං වෙ සිලජලං මලං.

න තං සජලදා වාතා - න චාපි හරිචන්‍දනං,
නෙව හාරා න මණයො-න චන්‍දකිරණඞ්කුරා.

සමයන්තී ධ සත්තානං - පරිළාහ සුරක්ඛිතං,
යං සමෙති ඉදං අරියං - සීලං අච්චන්ත සීතලං.

සීලගන්‍ධ සමො ගන්‍ධො - කුතො නාම භවිස්සති,
යො සමං අනුවාතෙ ච - පටිවාතෙ ච වායති.

සග්ගාරොහණසොපාන - අඤ්ඤං සීලසමං කුතො,
චාරං වා පන නිබ්බාණ - නගරස්ස පවෙසනෙ.

සොභන්තෙවං න රාජානො - මුත්තා මණිවිභූසිතා,
යථා සොභන්ති යතිනො - සිලභූසනභූසිතා.

අත්තානුවාදා දි භයං - විද්ධංසයති සබ්බසො,
ජනෙති කිත්තිං හාසඤ්ච - සීලං සීලවතං සදා.

ගුණානා මූලභූතස්ස - දොසානං බලඝාතිනො,
ඉති සීලස්ස විඤ්ඤෙය්‍යං ආනිසංසකථා මුඛන්ති.

භාවය :-

1.  සසුන්වන් කුලදරු-වනට ඇමකල් එක් පිහිටි,
සිල් ගුණ දහමැ අනුසස් - පිරිසිඳ කියන්නේ කවර.

2-3. පස් මහගඟ දියෙන් - සිල්දියෙන් මෙන් සත්වග
      කිලිටිමල හැර සෝදා - නොපියා කරත්හොත් බැරි

4-5.  මඳ මඳ මේ පවන් - සඳුන මිණිහර සඳකැන්,
      පිරිසිදු සිහිල් සිල් සේ - නොපියා සත්වග තැවුලි

6.  උඩු යටි සුලඟ හා - එක සේ දුවන අනුබඳ,
සිල් සුවඳ සුවඳෙක් - මුලු තුන් ලොව අන් කවර

7.  සගපහට එකහිණ - නිවන් පුරට මහදොර,
සීලගුණ බඳු දහමෙක් - කියග ලොවතුර වෙන කවර.

8.  සිල්බරණින් සැදුණු - බුදුපුත් යතිවරන් සේ,
සූසැට බරණ පැළඳි - නිරිදෝ ද නො දිලෙත් මේ.
9.  සිව් බිය නසා හැරැ - සිල්වත් දනගෙ සිල්කඳ,
යසකිත් ලොවෙහි පතුරා - සැපත් සිරිදෙයි නිතොරා.

10.     ගුණ මලට මුල් වූ - දොස් බල සිඳි තුමුල් වූ,
සිල් ගුණෙහි අනුසස් - මෙලෙසින් දැන පුරන්නේ.

සීලයෙහි ආනිසංස කුමක් ද
යනු මෙතෙකින් විසඳන ලද්දෙයි.


5. සීලය කී වැදෑරුම් ද ?

සීලය වනාහි සීලන ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වේ. සීලන ලක්‍ෂණ යට විස්තර කරන ලදී.

චාරිත්ත සීල, වාරිත්ත සීල වශයෙන් දෙවැදෑරුම් වේ. එසේ ම ආභිසමාචාරික සීල, ආදීබ්‍ර‍හ්මචරියක සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද, නිස්සිත සීල, අනිස්සිත සීල වශයෙන් ද, කාලපරියන්ත සීල, ආපාණකොටික සීල වශයෙන් ද, සපරියන්ත සීල, අපරියන්ත සීල වශයෙන් ද, ලොකිය සීල, ලොකුත්තර සීල වශයෙන් ද දෙවැදෑරුම් දෙවැදෑරුම් වේ.

හීන සීල, මධ්‍යම සීල, ප්‍ර‍ණීත සීල වශයෙන් තෙවැදෑරුම් වේ. එසේ මැ, අත්තාධිපතෙය්‍ය සීල, ලොකාධිපතෙය්‍ය සීල, ධම්මාධි පතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සීල, අවිසුද්ධි සීල, මෙතික සීල වශයෙන් ද, සෙඛ සීල, අසෙඛ සීල, නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද තෙවැදෑරුම් තෙවැදෑරුම් වේ.

හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසෙසභාගිය සීල, නිබ්බෙධ භාගිය සීල වශයෙන් සිව්වැදෑරුම් වේ. එසේ මැ, භික්ඛු සීල, භික්ඛුණී සීල, අනුපසම්පන්න සීල ගහට්ඨ සීල වශයෙන් ද, පකති සීල, ආචාර සීල, ධම්මතා සීල පුබ්බහෙතුක සීල වශයෙන් ද, පාතිමොක්ඛ සංවර සීල, ඉන්‍ද්‍රිය සංවර සීල, ආජිවපාරිසුද්ධි සීල, පච්චයසන්නිස්සිත සීල වශයෙන් ද සිව්වැදෑරුම් වේ.

පරියන්ත පාරිසුදද්‍ධි සීල, අපරියන්ත පාරිසුද්ද්‍ධි සීල, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීල, අපරාමට්ඨ පාරිසුද්ද්‍ධි සීල, පටිප්පස්සද්‍ධි සීල වශයෙන් පස්වැදෑරුම් වේ. වදාළේ මැයි:- පටිසම්භිදායෙහි “පඤ්චසීලානි පරියන්ත පාරිසුදද්‍ධි සීලං, අපරයන්ත පාරිසුදද්‍ධි සීලං, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීලං, අපරාමට්ඨ පාරිසුදද්‍ධි සීලං, පටිප්පස්සදද්‍ධි පාරිසුදද්‍ධි සීලං”[80] යි එසේ මැ, පහාන සීල, වෙරමණී සීල, චෙතනා සීල, සංවර සීල, අවීතික්කම සීල යයි පස් වැදෑරුම් වේ. මොව්හු ක්‍ර‍මයෙන් මතු විස්තර කරනු ලැබෙත් ඒකවිධ සීලය යට දක්වන ලද පරිදි දතයුතු.

ද්‍විවිධ ශීල මෙසේයි.



ප්‍ර‍ථම ද්‍විකය

1. චාරිත්ත සීලය      
2. වාරිත්ත සීලය

1.  “මේ දේ කළ යුතුය” යි බුදුන් විසින් පණවා වදාළ යම් ශික්ෂාපද කෙනෙක් වෙද් ද ඒ ශික්‍ෂාපදයන්හි නියමිත සේ කිරීම චාරිත්ත සීලය. “චරන්ති තස්මිං සීලෙ පරිපූර කාරිතාය පවත්තන්තී’ත චාරිත්තං” යනු එහි විග්‍ර‍හ වාක්‍යයි.

2.  “මේ දේ නොකළ යුතුය” යි බුදුන් විසින් යමක් ප්‍ර‍තික්‍ෂේප කරන ලද්දේ ද ඒ ප්‍ර‍තික්‍ෂිප්තය නොකිරීම වාරිත්ත සීලය. “වාරිතං තායන්ති රක්ඛන්ති තෙනාති වාරිත්තං” යනු එහි විග්‍ර‍හ වාක්‍යයි.
වාරිත්ත සීලය ශ්‍ර‍ධායෙන් හා වීර්‍ය්‍යයෙන් සිද්ධ කළ යුතුය. වාරිත්ත සීලය ශ්‍ර‍ද්ධායෙන් මැ සිද්ධ කළ යුතුයි.

මෙය චාරිත්ත - වාරිත්ත සීල නම්.


ද්වීතීය ද්විකය

1. ආභිසමාවාරික සීලය හා            
2. ආදිබ්‍ර‍හ්මචරියක සීලය

1.  අභිසමාචාර නම් :- උතුම් හැසිරීමය. අභිසමාචාරය ම ආභිසමාචාරික ය. ස්වර්‍ථයෙහි ප්‍ර‍ත්‍යය කිරීම් වශයෙනි. මෙයින් උත්තම හැසිරීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.

නොහොත් සෝවාන් ආදි මාර්‍ගඵල අභිසමාචාරය ය. ඒ අභිසමාචාරය සඳහා පණවන ලද සීලය ආභිසමාචාරික ය. මෙයින් ආජීවටමක සීලය හැර සෙසු සිල් ආභිසමාචාරික සීල යයි කී නියා දතයුතු.

නොහොත් ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍ර‍ ශික්ෂාපද ආභිසමාචාරික ය. මෙයින් පවිති-දුකකට-දුර්භාෂිත ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.

නොහොත් සුලුවග, මහවග දෙක්හි ආ කඳුවත් පිරීම ආභිසමාචාරික සීලය යි.

2.  මාර්‍ග බ්‍ර‍හ්මචරියාවට ආදියෙහි වූ, සීලය ආදි බ්‍ර‍හ්මචරියක සීලය. එනම් : ආජීවාෂ්ටමක ශීලය යි. ආජීවාෂ්ටමක ශීලය නම්: කායද්‍වාරයෙන් සිඬවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන ත්‍රිවිධ අකුශලයෙන් ද, වාග්ද්‍වාරයෙන් සිද්‍ධවන මුසාවාද, පිසුණාවාචා, ඵරුසවාචා, සම්ඵප්පලාප යන චතුර්විධ අකුශලයෙන් ද, මිථ්‍යාආජීවයෙන් ද වැළකීම සඳහා සමාදන් වැ ගන්නා ශීලය යි. මේ ශීලය මාර්‍ගයට පූර්‍වභාගයෙහි පිරිය යුතු මැ ය. එහෙයින් වදාළහ. “පුබ්බෙව ඛො පනස්ස කායකම්මා වචී කම්මා ආජීවො සුපරිසුද්‍ධො හොති”[81] යි.

නොහොත් සඞ්ඝාදිසෙස පාරාජික යන මහා ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආදිබ්‍ර‍හ්මචරියක ශීලයයි.

නොහොත් භික්‍ඛු - භික්‍ඛුණී උභය විහඞ්ගයන්හි ආ ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආදිබ්‍ර‍හ්මචරියක ශීලයයි.

කිව යුත්තෙක් ඇති, ආභිසමාචාරික සීලය නුපුරන්නේ ආදිබ්‍ර‍හ්මචරියක ශීලය පුරන්නේය යනු කිසි කලෙක සිඬ නොවේ. ආභිසමාචාරික ශීලය පුරන්නේ මැ ආදිබ්‍ර‍හ්මචරියක ශීලය ද පුරන්නේ ය.

වදාළේ මැ යි. “සො වත භික්ඛවෙ භික්‍ඛු අභිසමාචාරිකං ධම්මා අපරිපූරෙත්‍වා ආදිබ්‍ර‍හ්මචරියකා ධම්මං පරිපූරෙස්සතී ති නෙතං ඨානා විජ්ජති”[82] යි.

මෙය ආභිසමාචාරික, ආදිබ්‍ර‍හ්මචරියක සීල නම්.



තෘතීය ද්විකය

1.  විරති සීලය හා          
2. අවිරති සීලය

1.  ප්‍රාණඝාතාදියෙන් වැළකීම් මාත්‍ර‍ය විරති ශීලය හෙවත් එම කුශල චිත්ත වීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසිකත්‍ර‍ය විරති ශීලයයි.

2.  එම කුශල චිත්ත වීථියෙහි මැ පහළ වන සෙසු චෙතනාදි චෛතසිකයෝ අවිරති ශීලය යි.


මේය විරති, අවිරති සීල නම්.


චතුර්‍ථ ද්විකය

1.  නිස්සීත සීලය හා         
2. අනිස්සිත සීලය

1.  තණ්හා නිස්සය, දීට්ඨි නිස්සය’ යි නිස්සය දෙවැදෑරුම් වේ. ‘මම මේ සීල හේතුයෙන් ප්‍ර‍සිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි, අප්‍ර‍සිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි’ යි භව සම්පත් පැතීම් වශයෙන් පුරනු ලබන ශීලය තණ්හා නිස්සිත ය. ‘ශීලයෙන් මැ සුද්‍ධය වන්නේය’යි දෘෂටි වශයෙන් පුරනු ලබන ශීලය දිට්ඨි නිස්සිත ය. මේ දවිවිධ වූ ශීලය නිස්සිත සීල නම් වේ.

2.  මේ දෙවැදෑරුම් නිස්සයයෙන් වෙන් වැ පුරනු ලබන ලෞකික ලොකොත්තර සීල අනිස්සිත සීල නම් වේ.

මේය නිස්සිතානිස්සිත සීල නම්.

පංචම ද්විකය

1.  කාලපරියන්ත සීලය හා     2. ආපාණකොටික සීලය.

1.  කාලපරිච්ඡේද ඇතිව (අෂ්ඨාඞ්ග සීලය මෙන්) සමාදන් ව රක්නා ශීලය කාලපරියන්ත සීලය.

2.  දිවිහිම් කොට (පංචසීලය මෙන්) සමාදන්ව රක්නා ශීලය ආපාණකොටික සීලයි.

මේය කාලපරියන්ත, ආපාණකොටික සීල නම්.

ෂෂ්ඨ ද්විකය
1. සපරියන්ත සීලය හා           
2. අපරීයන්ත සීලය.

1.  ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්ත සීලය ඒ එසේ මැ යි. ඇතැම් කෙනෙක් ‘ලාභයක් ලබමි’ යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ ලාභය ලත්කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් කීර්‍තතියක් ලබමි’යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ කිර්‍තතිය ගත් කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් ඥාති, අංග, ජීවිත අපේක්‍ෂායෙන් සිල් සමාදන් ව පසුව ඒ ඥාති, අංග, ජීවිත ලත් කල සීලය බිඳැ ලත්. මෙබඳු සිල් ඛණ්ඩය ජිද්‍ර‍ය. සබලය. කල්මාෂය. භුජිස්ස නොවේ. විඤ්ඤැප්පසත්‍ථ නොවේ. පරාමට්ඨ වේ. සමාධිසංවත්තනික නොවේ. නිවන් පිණිස නො පවතී.

වදාළේ මැ යි. පටිසම්භිදායෙහි :-

“කතමං තං සීලං සපරියන්තං? අත්‍ථ සීලං ලාභපරියන්තං, අත්‍ථි සීලං යසපරියන්තං, අත්‍ථි සීලං ඤාතිපරියන්තං, අත්‍ථි සීලං අංගපරියන්තං, අත්‍ථි සීලං ජීවිතපරියන්තං, කතමං තං සීලං ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්නසික්ඛාපදං විතික්කමති ඉදං තං සීලං ලාභපරියන්තං -- -පෙ--- එවරූපානි සීලානි කණ්ඩානි ජිද්දානි සබලානි කම්මාසානි න භුඤ්ජිස්සානි - --පෙ --- න නිබ්බානාය සංවත්තන්ති”[83] යි.

2.  ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා නොකොට රක්නා සීලය අපරියන්ත සීලය. ඒ එසේ මැ යි :- ඇතැම් කෙනෙක් සමාදන් ව ගත් ශික්‍ෂාපද ලාභයක් හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම? සමාදන්ව ගත් ශික්‍ෂාපද කීර්‍තති, ඥාති, අඞ්ග, ජීවිත හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම්? මෙබඳු සිල් අඛණ්ඩය, අච්ජිද්‍ර‍ය, අසබලය, අකල්මාෂය, ---පෙ--- - නිවන් පිණිස පවතී.) වදාළේ මැ යි පටිසම්භිදායෙහි :-

“කතමං තං සීලං අපරියන්තං? අත්‍ථි සීලං න ලාභපරියන්තං, අත්‍ථි සීලං න ලාභ පරියන්තං, අත්‍ථි සීලං න යසපරියන්තං, අත්‍ථි සීලං න ඤාති පරියන්තං, අත්‍ථි සීලං න අංගපරියන්තං, අත්‍ථි සීලං න ජීවිතපරියන්තං, කතමං තං සීලං න ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්තං සික්ඛාපදං විතික්කමාය චිත්තම්පි න උප්පාදෙති ----පෙ --- එව - රූපානි සීලානි අඛණ්ඩානි අච්ජිද්දානි ---පෙ ---- නිබ්බානාය සංවත්තන්ති”[84] යි.

මේය සපරියන්ත, අපරියන්ත සීල නම්.


සත්තම ද්විකය
   
1. ලෞකික සීලය හා         
2. ලෝකෝත්තර සීලය.

1.  ආශ්‍ර‍ව සහිත වූ (පෘථග්ජනයන්ගේ) සියලු සීල ලෞකික ය. එය භවසම්පත් එළවයි. භවනිස්සරණයට ද ප්‍ර‍ත්‍යය වෙයි. වදාළේ මැ යි.

‘විනයො සංවරත්‍ථාය, සංවරො අවිප්පටිසාරත්‍ථාය, අවිප්පටිසාරො පාමොජ්ජත්‍ථාය, පාමොජ්ජං පීතත්‍ථාය, පීති පස්සද්‍ධත්‍ථාය, පස්සද්‍ධි සුඛත්‍ථාය
සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභුතඤාණදස්සනත්‍ථාය, යථාභුතඤාණදස්සනං නිබ්බි දත්‍ථාය, නිබ්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත්තත්‍ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්‍ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්‍ථාය. එතදත්‍ථා කථා එතදත්‍ථා මහනණා එතදත්‍ථා උපනිසා එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදා විත්තස්ස විමොක්ඛො”[85]

2.  ආශ්‍ර‍ව රහිත වූ (සෝවාන් ආදි ආර්‍ය්‍යයන්ගේ) සීල ලෝකොත්තරය, එය භවනිස්සරණය එළවයි. ප්‍ර‍ත්‍යවේක්‍ෂණ ඥානයට ද භූමි වෙයි.

මේය ලෞකික, ලෝකෝත්තර ශීල නම්.

ද්‍විවිධ සීල නිමියේය.

ඉක්බිති ත්‍රිවිධ ශීල දක්වනු ලැබේ.

ප්‍ර‍ථම ත්‍රිකය

1.  හීන සීල,          
2. මජ්ඣිම සීල,      
3. ප්‍ර‍ණිත සීල.

1.  හීන වූ ඡන්‍දයෙන් හීන වූ චිත්තයෙන් හීන වූ වීර්‍ය්‍යයෙන් හීන වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය හින ශීලය.

2.  මධ්‍යම වූ ඡන්‍දයෙන් මධ්‍යම වූ චිත්තයෙන් මධ්‍යම වූ වීර්‍ය්‍යයෙන් මධ්‍යම වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය මධ්‍යම ශීලය.

3.  ප්‍ර‍ණීත වූ ඡන්‍දයෙන් ප්‍ර‍ණීත වූ චිත්තයෙන් ප්‍ර‍ණීත වූ වීර්‍ය්‍යයෙන් ප්‍ර‍ණීත වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය ප්‍ර‍ණීත ශීලයි.

නොහොත් 1. කීර්ති ප්‍ර‍ශංසා කැමැති ව සමාදන් ව රක්නා ශීලය හීන ශීලය. 2. සිල් රැකීමෙන් මතු උසස් කුල, ස්වර්‍ග ලැබෙන්නේ ය යි සලකා ඒ ආනිසංස පිණිස රක්නා ශීලය මධ්‍යම ශීලය. 3. මෙය මවිසින් කටයුතුමයි සෝවාන් ආදි ආර්‍ය්‍යභාවය අපේක්‍ෂා කොට රක්නා ශීලය ප්‍ර‍ණීත ශීලය යි.

නොහොත් 1. ‘සීලවන්ත නම් මම ය, මේ අනෙක් භික්ෂූහු දුශ්ශීලයෝ ය. පාප ධර්‍ම ඇත්තෝය’යි තමන් උසස් කර ගන්නා අදහසින් අනුන් හෙළා දක්නා අදහසින් කිලිටි වූ ශීලය හින ශීලයැ 2. එබඳු අත්තුක්කංසන පරවම්හන අදහසින් නොකිලිටි වූ පෘථග්ජනයන්ගේ ශීලය මධ්‍යම ශීලය. 3. ලෝකෝත්තර ශීලය ප්‍ර‍ණීත ශීල යි.

නොහොත් 1. තෘෂ්ණා වශයෙන් භවභෝග සම්පත් පතා රකිනු ලබන ශීලය හීනය. 2. තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකිනු ලබන ශීලය මධ්‍යමය. 3. සියලු සතුන් සසරින් එතර කරනු සඳහා රකිනු ලබන බෝසතුන්ගේ පාරමිතා ශීලය ප්‍ර‍ණීතයි.

මේය හීන, මධ්‍යම, ප්‍ර‍ණීත ශීල නම්.

ද්විතීය ත්‍රිකය

1.  අත්තාධිපතෙය්‍ය,  
2. ලොකාධිපතෙය්‍ය, 
3. ධම්මාධිපතෙය්‍ය සීල.

1.  තමහට නුසුදුසු දේ හැරපියා තමා මැ ගුරුකොට තමා කෙරෙහි මැ ගෞරවයෙන් රක්නා ලද සීලය අත්තාධිපතෙය්‍ය සීලය. (මා වැන්නකු විසින් පව් කිරීම නුසුදුසු යයි ආත්ම ගෞරව උපදවා රක්නා ලද සීලය යි සේයි)

2.  ලෝකාපවාදයට බියෙන් ලෝකයා ගරුකොට සමාදන්ව රක්නා සීලය ලෝකාධිපතෙය්‍ය සීලය.

3.  ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්තෙන් ධර්‍ම ගෞරවයෙන් රක්නා සීලය ධම්මාධිපතෙය්‍ය සීලයි. (ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්ත නම් : “ධර්‍මය මහානුභාව ඇත්තේය. ඒකාන්ත නෛර්‍ය්‍යානිකය, ඒ ධර්‍මය ප්‍ර‍තිපත්තීන් පිදිය යුතුය” යි සලකා ධර්‍මයට පුදනු කැමැති වීමයි.)

මේය අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය සීල නම්.

තෘතීය ත්‍රිකය

1. පරාමට්ඨ 
2. අපරාමට්ඨ,         
3. පටිප්පස්සද්‍ධ සීල

1.  පරමට්ඨ සීල නම් : දවිවිධ ශීලයන්හි දක්වන ලද නිස්සිත සීලම ය. ඒ වනාහි ‘මම මේ ශීල හේතුයෙන් ප්‍ර‍සිද්‍ධ හෝ අප්‍ර‍සිද්‍ධ දෙවියෙක් වන්නෙමි’ යි තෘෂ්ණා වශයෙන් ද, ‘ශීලයෙන් ශුද්‍ධිය වන්නේ ය’යි දෘෂ්ටි වශයෙන් ද, පරාමර්‍ශනය කරන (අල්වාගන්නා) ලද බැවින් පරාමට්ඨ සීල නම් වේ.

2.  පුථුජ්ජන සීලවන්තයා විසින් සෝවාන් ආදි ආර්‍ය්‍ය මාර්‍ග ලැබීම පිණිස පුරනු ලබන සීලය ද, සප්තශෛක්‍ෂයන්ගේ මාර්‍ග චිත්තයන්හි ලැබෙන විරති චෙතනාදිය ද, තෘෂ්ණා-දෘෂ්ටි විසින් පරාමර්‍ශනය නොකරන ලද බැවින් අපරාමට්ඨ සීල නම් වේ. (සප්ත ශෛක්‍ෂයෝ නම් :- සෝවාන් මාර්‍ගස්ථ ඵලස්ථ, සකෘදාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අනාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අභීත් මාර්‍ගස්ථ යන මොහුයි.)

3.  ශෛක්‍ෂයන්ගේ හා අශෛක්‍ෂයන්ගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්සිඳුවන බැවින් පටිප්පස්සද්ධ සීල නම් වෙත්. (අශෛක්‍ෂයා නම් : අභීත් ඵලස්ථයාය.)

මේය පරාමට්ඨ, අපරාමට්ඨ, පටිප්පස්සද්ධ සීල නම් :

චතුර්‍ථ ත්‍රිකය

1. විසුද්‍ධ,  
2. අවිසුද්‍ධ 
3. වේමතික සීල

1.  ඇවැත්වලට නොපැමිණ මැ රක්නාලද ශීලය ද, ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කර ගන්නා ලද ශීලය ද විසුද්ධ සීල නම් වේ.

2.  ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කරැ නොගන්නා ලද ශීලය අවිසුද්‍ධ සීල නම් වේ.

3.  වස්තුයෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහු ගේ සීලය වේමතික සීල නම් වේ. (වස්තුයෙහි විමතිය නම් :- මස් වලඳන කල්හි “වලස් මස් දෝ හෝ හූරුමස් දෝ හෝ”යි සැක සහිත වීම ය. (වලස් මස් වැළඳුව දුෂ්කෘත වේ. හූරුමස් නම් ඇවැත් නැති.) මෙසේ වස්තුයෙහි සැක සහිතවීම වස්තුයෙහි විමතිය යි. ආපත්තියෙහි විමතිය නම් :- “තමා පැමිණි ඇවැත පවිතිය දෝ හෝ දුකකටය දෝ හෝ”යි යනාදි වශයෙන් සැක සහිත වීමයි. අජ්ඣාචාරයෙහි විමතිය නම් :- “තමා ඇවැතට පැමිණියේ දෝ නො පැමිණියේ දෝ හෝ”යි සැක කිරීමයි. (යෝගාවචර භික්‍ෂුව විසින් ස්වකීය ශීලය අපිරිසිදු නම් - අවිසුද්‍ධ නම් ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිරිසිදු කර ගත යුතු ය. වේමතික නම් වස්තු අජ්ඣාචාර නො කොට විනය ධරයන් විචාරා විමති දුරු කට යුතුයි. එසේ ඇති කල්හි ඒ භික්‍ෂු හට සුව පිණිස වේ.)

මේය විසුද්‍ධ, අවිසුද්‍ධ, වේමතික සීල නම්.

පංචම ත්‍රිකය

1.  සෙඛ,           
2. අසෙඛ, 
3. නෙවසෙඛනාසෙඛ සීල

1.  ශෛක්‍ෂයන් ගේ මාර්‍ග-ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු සෙඛ සීල නමි.

2.  අශෛක්‍ෂයා ගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු අසෙඛ සීල නමි.

3.  පෘථග්ජනයන් ගේ ශීල නෙවසෙඛනාසෙඛ සීල නම් වේ.

මේය සෙඛ, අසෙඛ, නෙවසෙඛවනාසෙඛ සීල නම්.

සීලය යි ස්වභාවයට ද කියනු ලැබේ. සැප ස්වභාව ඇත්තේ සුඛ සීල ය. දුක් ස්වභාව ඇත්තේ දුක්ඛ සීලය කලහ කරන ස්වභාව ඇත්තේ කලහ සීල යනාදි වශයෙනි. සීල ශබ්දයා ගේ මේ ස්වභාවාර්‍ථය සලකා පටිසම්භිදා නම් ධර්‍ම ග්‍ර‍න්‍ථයෙහි :-“තීනි සීලානි කුසලං සීලං අකුසලං සීලං අඛ්‍යාකතං සීලං[86]”යි ‘කුසල සීලය, අකුසල සීලය’යි අන්‍ය වූ ද ත්‍රිවිද ශීලයෙක් දක්වන ලද්දේ ය. අකුසල සීල යනු යට දක්වන ලද ශීල ලක්ෂණයන් අතුරෙන් එකකටවත් අයත් නොවන බැවින් මේ ත්‍රිවිධ ශීලය විශුද්‍ධිමාර්‍ගයෙහි ඇතුළත් නොකරන ලද බව දත යුතුයි.

ත්‍රිවිධ ශීල නිමියේ ය.

චතුර්විධ ශීල මෙසේ ය.


ප්‍ර‍ථම චතුෂ්කය

1. හානභාගිය      
2. ඨිතිභාගිය  
3. විසෙසභාගිය 
4. නිබ්බෙධභාගිය සීල.

1.  පිරිහීමට නැමීගත් සීලය හානභාගිය සීලය.

ඒ එසේ මැ යි :- “යම් අඥානයෙක් දුස්සීලයන් සේවනය කරමින් සීලවන්තයන් සේවනය නොකරමින් වරද කිරීමෙහි දෝෂ නොදකිමින් බොහෝ මිථ්‍යා අදහස් උපදවමින් ඉන්‍ද්‍රිය සංවරයක් නැතිව වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය හානභාගිය සීල වේ.”

2.  පිරිහීමටත් නොපැමිණ අභිවෘද්‍ධියටත් නොපැමිණ තුබූ සැටියේ මැ පවත්නා සීලය ඨිතිභාගිය සීලය.

ඒ එසේ මැ යි :- “යමෙක් තමාලත් සීල සමාපත්ති මාත්‍රයෙන් සතුටුව කර්‍මස්ථාන පිණිස අදහස් මාත්‍ර‍යකුදු නූපදවා වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය ඨිතිභාගිය සීල වේ.”

3.  සමාධි සංඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසෙසභාගිය සීලය.

ඒ එසේ මැ යි :- යමෙක් සීල සම්පන්න ව මතු සමාධි පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය විසෙසභාගිය සීල වේ.

4.  නිබ්බෙධ සංඛ්‍යාත විදර්‍ශනා පිණිස නැමීගත් සීලය නිබ්බෙධභාගිය සීලය.

ඒ එසේ මැ යි :- යමෙක් තමා ලත් ශීල මාත්‍රයෙන් සතුටු නොව විවසුන් වඩා නිවන් දක්නා පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය නිබ්බෙධභාගිය සීල වේ.

මේය හානභාගිය, ඨිතිභාගිය, විසෙසභාගිය, නිබ්බෙධභාගිය සීල නම්.

ද්විතීය චතුෂ්කය

1.  භික්ඛු   
2. භික්ඛුණී 
3. අනුපසම්පන්න,     
4. ගහට්ඨ සීල.

1.  භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්ඛුණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපදයන් අතුරෙන් භික්‍ෂූන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්‍ෂු ශීල නම් වේ.

2.  භික්‍ෂූණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්‍ෂූන් උදෙසා පණවන ලද භික්‍ෂුණීන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්ඛුණී සීල නම් වේ.

3.  සාමණේරයන්ගේ හා සාමණේරීන්ගේ දස සීල අනුපසම්පන්න සීල නම් වේ.

4.  උපාසක උපාසිකාවන්ට නිත්‍ය ශීල වශයෙන් පණවා වදාළ පංච ශික්‍ෂාපද ද, උත්සාහ ඇති කල්හි රැක්ක යුතු යයි වදාළ දශ ශික්‍ෂාපද ද, උපොසථාඞ්ග වශයෙන් පණවා වදාළ අෂ්ටශික්‍ෂාපද ද ගහට්ඨ (ගිහි) නම් වේ.

මේය භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ සීල නම්.

තෘතීය චතුෂ්කය

1.  පකති   
2. ආචාර  
3. ධම්මතා 
4. පුබ්බහෙතුක සීල.

1.  ස්වභාවයෙන් රැකෙන සීලය පකති සීලය. උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ට පංචසීලය ස්වභාවයෙන් ම රැකෙයි. එහෙයින් ඔවුන්ගේ සීලය ප්‍ර‍කෘති ශීල නම් වේ.

2.  කුල, දේශ, තීර්‍ථක යන මොවුන් අතර පවත්නා යහපත් සිරිත් ආචාර සීලය.

ඒ එසේ මැ යි :- ඇතැම් කුලයන්හි රහමෙර පීම ඒ කුලවල ආදි පුරුෂයන් විසින් තහනම් කරන ලද්දේ වේ. ඇතැම් දේශයන්හි ප්‍රාණඝාත කිරීම ඒ දෙශාධිපතීන් විසින් තහනම් ලද්දේ වේ. තීර්‍ථකයන් අතර යම-නියම ඇත්තේය. එයට අනුව යමෙක් හැසිරෙයි ද එය ආචාර සීලයයි සේයි.

3.  බෝසත් මාතාවන්ගේ සීලය ධම්මතා සීලය.

වදාළේ මැ යි :- “ධම්මතා එසා ආනන්‍ද යදා බොධිසත්තො මාතු කුචජිං ඔක්කනෙතා හොති න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උපපජ්ජති කාමගුණූපසංහිතං”[87] යි.

“ආනන්‍දය! යම් දිනෙක බෝධිසත්ත්‍වයෝ මාතෘකුක්‍ෂියෙහි පිළිසිඳ ගනිද්ද, එ තැන් පටන් බෝසත් මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාම කල්පනා පහළ නො වෙයි යන මෙය ධර්‍මතාවෙක” යනාදීන් දක්වන ලද්දේ ධම්මතා සීලය.

4.  පූර්‍වහේතුයෙන් මැ ජනිත සීලය පුබ්බහෙතුක සීලය. මහාකාශ්‍යපාදි ශුද්‍ධසත්ත්‍වයන්ගේ ද, බොධිසත්ත්‍වයන්ගේ ද ඒ ඒ ජාතීන්හි පැවැති සීලය පුබ්බහෙතුක සීලය යි කී නියාය. ඒ එසේ මැ යි :- පිප්ඵලිමානවක හා භද්දකාපිලානි ස්වකීය මධුරාත්‍රිය පවා වීතිරාගයන් සේ ගත කළහ. බෝසත් සීලව රජතුමා පර පණ නොනසා තෙමේ ජීවග්‍රාහයෙන් අසුවූයේ ය.

මේය පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක සීල නම්.

චතුර්‍ථ චතුෂ්කය

1. පාතිමොක්ඛ සංවර සීල          
2. ඉන්‍ද්‍රිය සංවර සීල
3. ආජීව පාරිසුද්‍ධි සීල              
4. පච්චයසන්නිස්සිත සීල

1.  ප්‍රාතිමොක්‍ෂයෙහි වදාළ ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍ම නොකොටැ රැකගැන්මාදිය පාතිමොක්ඛසංවර සීලය.

වදාළේ මැ යි:- ‘ඉධ භික්ධු පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාර ගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[88] යි.

2.  චක්ඛු, සෝත, ඝාණ, ජිවහා, කාය, මන යන ෂට් ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්ම ඉන්‍ද්‍රිය සංවර සීලය.

වදාළේ මැ යි :- “සො චක්ඛුනා රූපං දිසවා න නිමිත්තග්ගාහි හොති නානුඛ්‍යඤ්ජනග්ගාහි, යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ක්‍ඞා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍ටා --පෙ-- ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා...පෙ---- ජිවහාය රසං සායිත්‍වා---පෙ---- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍ටාමනසා ධම්මං විඤ්ඤායථ න නිමිත්තග්ගාහි හොති. නානුඛ්‍යජනග්ගාහි, යත්‍වාධිකරණමෙතං මනින්‍ද්‍රියං අසංවුතං විහරන්තා අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ සංවරං ආපජ්ජතී”[89] යි.

3.  ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාද ව්‍යති ක්‍ර‍මණය කිරීම් වශයෙන් ද; කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාපධර්‍මයන්ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීවපාරිසුද්‍ධි සීලය.

4.  “පටිසංඛා යොනිසො වීවරං පටිසෙවාමි යාවදෙව සිතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය”[90] යනාදීන් ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට සිව්පස පරිභොග කිරීම පච්චය සන්නිඝසිත සීලයි.

මේ චතුපාරිසුද්‍ධි සීලය පිළිබඳ විස්තර විනිශ්චය කථාව පිළිවෙළින් මතු දක්වනු ලැබේ.


1.  ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය

“ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[91] යන ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය සඳහා විභඞ්ගප්‍ර‍කරණයෙහි පුග්ගලාධිට්ඨාන වසයෙන් වදාළ පාළියයි. ‘මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ වාසය කරන්නේ ය. ශික්‍ෂාපදයෙන් සමාදන් වැ රකින්නේ ය’ යනු එහි සංක්‍ෂිප්ත අදහස යි.

පදයක් පාසා විවරණය මෙසේ දතයුතු.

ඉධ = මේ ශාසනයෙහි.

භික්ඛු = “සංසාරෙ භයං ඉක්ඛතී ති භික්ඛු” සසර බිය දක්නේ නුයි භික්‍ෂු. ජින්න භින්න පටධරත්තා භික්ඛු” කඩ කඩ කොට කැපූ වස්ත්‍ර‍ධරණ හෙයින් භික්‍ෂු යනාදි වශයෙන් නම් ලත් සැදැහැයෙන් සසුන් වන් කුලදරුවා.

පාතිමොක්ඛසංවර සංවුතො = ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ. මෙහි පාතිමොක්ඛ නම්, ශික්‍ෂාපද ශීලය. “යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචෙති අපායිකාදිහි දුක්ඛෙහිති පාතිමොක්ඛං”[92] යනු එහි විග්‍ර‍හ වාක්‍යයි. ‘යම් ශීලයක් තෙමේ තමා රක්නහු අපායිකාදි දුඃඛයන්ගෙන් මුදා ගන්නේද, ඒ සීලය පාතිමොක්ඛ නම් වේ’. යනු එහි අදහසයි. සංවර නම් කයෙන් හෝ වචනයෙන් ශික්ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කිරීමයි. හෙවත් නොබිඳීමයි. සංවුත නම් මෙහි යුක්ත යන අර්‍ථයි.

විහරති = වාසය කරයි.

ආචාර ගෝචර සම්පන්නො = ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ. මෙහි විහඞ්ගප්‍ර‍කරණයෙහි මෙසේ විස්තර කරන ලදී. “ආචාරගෝචර සම්පන්නොති අත්‍ථ ආචාරො අත්‍ථ අනාචාරො. තත්‍ථකතමො අනාචාරො? කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො අයං වුච්චති අනාචාරො. සබ්බංපි දුස්සීල්‍යං අනාචාරො. ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵ ඵල - සිනාන - දන්තකට්ඨදානෙන වා චාටුකම්‍යතාය වා මුග්ගසුප්පතාය වා පාරිභට්ටතාය වා ජඞ්ඝපෙසනිකෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති අනාචාරො.

තත්‍ථ කතමො ආචාරො? කායිකො අවීතිකකමො වාචසිකො අවිතික්කමො කායික වාචසිකො අවීතික්කමො අයං වුච්චති ආචාරො, සබ්බො පි සිලංසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන න පත්ත-න පුප්ඵ - ඵල න සිනාන-න දන්තකඨදානෙන න චාටුකම්‍යතාය න මුග්ග සුප්පතාය න පාරිභට්ටතාය න ජඞ්ඝපෙසනිකෙන න අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති ආචාරො”[93] යි.

මෙහි භාවය මෙසේ ය.

‘ආචාරගොචරසම්පන්නො යන මෙහි ආචාරයෙක් ද ඇත. අනාචාරයෙක් ද ඇත. එහි අනාචාරය යනු කිම? කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, කයෙන් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම යන මේ අනාචාරයයි කියනු ලැබේ. තවද සියලු දුශ්ශීල කර්‍ම අනාචාරය.

ඒ එසේ මැ යි :- මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් හුණු, කොළ, මල්, ඵල, නහනු දැවටු ගිහියන් සිත් ගන්නා පිණිස දෙන්නේ ය. චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිභට්ටකතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් ද අන්‍යවූත් බුදුන් විසින් පිළිකුල් කොට වදාළ මිථ්‍යාජීවයෙන් ද ජීවිකා පවත්නේ ය. මෙය ආනාචාරය යි කියනු ලැබේ.

මෙහි චාටුකම්‍යතා නම් :- භික්‍ෂූන් විසින් ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස් තන්හි තබා තමන් පහත් තන්හි තබා කථා කිරීම ය.

මුග්ගසුප්පතා නම් :- මුං ඇට තැම්බූ කල වැඩි කොටස නො පැසී මඳ කොටසක් පැසී තිබෙන්නා සේ කථා කරන කල්හි වැඩි කොටස අසත්‍ය වීම හා මඳ කොටසක් මැ සත්‍ය වීම ය.

පාරිභට්ටතා නම් :- කිරිමවුන් මෙන් කුඩා දරුවන් වඩා ගෙන ආදර දැක්වීම ආදිය.

ජඞ්ඝපෙසනිකතා නම් :- ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යාමයි. අන්‍ය වූ බුද්‍ධපතිකුඨ මිච්ඡාජීව නම්, වෙදකම් කිරීම් නැකැත් කීම් ආදිය යි. (මෙය මතු ද විස්තර වශයෙන් දක්වනු ලැබේ)

“ගොචරොති අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො. තත්‍ථ කතමො අගොචරො? ඉධෙකච්චො වෙසිය ගොචරොවා හොති, විධව - ථුල්ලකුමාරික - පණ්ඩක - භික්ඛුණී - පානාගාර ගොචරො වා හොති, සංසට්ඨො විහරති, රාජුහි රාජමහාමත්තෙහි තිත්‍ථථියෙහි තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පනතානි - කුලානි අස්සද්‍ධානි අප්පසන්නානි අක්කොසක පරිහාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති අගොචරො.

තත්‍ථ කතමො ගොචරො? ඉධෙකච්චො න වෙසිය ගොචරො හොති ---පෙ--- න පානාගාර ගොචරො අසංසටෙඨා විහරති රාජූහි ---පෙ--- තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි සද්‍ධානි පසන්තානි ඔපානභුතානි, අත්‍ථකාමානි ---පෙ---- යොගක්ඛෙම කාමානි භික්ඛුනං ---පෙ--- උපාසිකානං තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති ගොචරො”[94]

මෙහි භාවය මෙසේ ය.

“ගොචරො” යයි කියූ තන්හි ගෝචරයෙක් ද ඇත. අගේචරයෙක් ද ඇත, එහි අගෝචරය යනු කිම? මේ සසුන්වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්ෂුණීන්, මත්පැන් ගෝචර කොට වෙසෙයි. රජුන් හා රාජ මහාමාත්‍යයන් හා තීත්‍ථකයන් හා තීත්‍ථක ශ්‍රාවකයන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී වෙසෙයි භික්‍ෂූන්ට භික්‍ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට අකෝසා පරිකෝසාබණින ඔවුන්ට අනත්‍ථ කැමැති අභිත කැමැති අපහසු කැමැති භය කැමැති සැදැහැ පැහැදුම් නැති කුලගෙවල් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කරයි. මෙය අගෝචර යි කියනු ලැබේ.

(මෙහි වෙසඟනන් ......පෙ..... භික්‍ෂුණීන් ඇසුරු කිරීම ඔවුන් රාගාධිකයන් බැවින් ශ්‍ර‍මණ ධර්‍මයට අන්තරාය කර ය.

රාජරාජාමාත්‍යයන් ඇසුරු කිරීම නුසුදුසු ලාභ සත්කාර උපදවන බැවින් සම්‍යක් ආජීවයට අන්තරාය කර ය.

තීත්‍ථක තීත්‍ථකශ්‍රාවකයන් ඇසුරු කිරීම දෘෂ්ටි විපත්තියට හේතුවන බැවින් සම්‍යක් දෘෂ්ටියට අන්තරාය කර ය. සැදැහැ නැති කුලයන් සේවනය කිරීම ශ්‍ර‍ද්ධා හානියට හා චිත්තබේදයට හේතු ය.)

ගෝචර නම් කිම? මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණැ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්‍ෂුණීන්, මත්පැන් සැල් ගෝචර කොට නො වෙසෙයි. රජුන් හා රජ මැතිනියන් හා අත්තොටුවන් (අන්‍යතීර්ථකයන්) හා අත්තොටු සව්වන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී නො වෙසෙයි. භික්‍ෂු ආදි සිවුපිරිසට නිති සිවුපසයෙන් උපස්ථාන කරන - භික්‍ෂු භික්‍ෂුණීන් ගේ කෂාය වස්ත්‍රයෙන් බැබලී ගත් - ඔවුන්ගෙන් නිතර ගැවසී ගත් ඔවුන්ට හිත වැඩ කැමති - ඔවුන්ට පහසු හා නිර්‍භය කැමැති-සැදැහැ පැහැදුම් ඇති කුලයන් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කෙරෙයි මෙය ගෝචරය යි කියනු ලැබේ.

යට දැක්වූ ආචාරයෙන් හා මේ ගෝචරයෙන් යුක්ත වූ යේ ආචාර ගෝචර සම්පන්නයි.

මේ ආචාර ගෝචරය පිළිබඳ මතු දක්වනු ලබන ක්‍ර‍මය ද දැනගත යුතු.

1. කායික අනාචාරය,       2. වාචසික අනාචාරය යි

අනාචාර ද්‍විවිධ වේ.

1. කායික අනාචාරය :- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් සඞ්ඝ සභාවට ද එළඹ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ගරුසරු නැති වැ ඔවුන් සිව්රෙන් සිව්ර හා ඇඟින් ඇඟ ගටමින් සිටිති. හිඳිති. ඔවුන් අභිමුඛයෙහි ද එසේ මැ සිටිති. හිඳිති. උසසුන්හි දු හිඳ ගනිති. හිස වසා පොරවා ගෙන ද හිඳිති. ගරු සරු නැති වැ සිට ගෙන ද අත් වනමින් ද කථා කෙරෙති. මහතෙරුන් පා වහන් නැති වැ සක්මන් කරන කල තුමු වහන් නැගී ද, මහතෙරුන් පහත් වූ සක්මන් හි සක්මන් කරන කල තුමූ උස් වූ සක්මන් හි නැගී ද සක්මන් කෙරෙති. මහතෙරුන් හිඳිනා තන්හි වැද හිඳිති. නවක භික්‍ෂූන් අසුන්වලින් නෙරපති. ජන්තාඝරයට වැද මහතෙරුන් නොවිචාරා උදුනෙහි දර දමති. දොරවල් ද වසති. පැන් නහනා තොටට ගොස් මහතෙරුන් ඇඟ ගැටෙමින් ඔවුන් ඉදිරියෙහි වෙමින් තොටට බසිති. නහති. තොටින් නැඟෙති. ගමට වදනා කල්හි ද ස්ථවිර භික්‍ෂුන් ඇඟ ගටමින් යෙති. ඔවුන් ඉදිරියෙහි ද ගමන් කරති. කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන් වසන පිළිසන් ගැබ් ගෙවලට ලා හෙළා වදිති. බාල දරුවන්ගේ හිස පිරිමදිත් මේ කායික ආනාචාරය යි දතයුතු.

2. වාචසික අනාචාරය- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් මහතෙරුන් නොවිචාර බණ කියති. ප්‍ර‍ශ්න විසඳති. ඇතුල් ගෙවලට ද වැද ඒ ඒ කුලස්ත්‍රීන් ගේ කුලකුමාරීන් ගේ නම් ගොත් කිය කියා ආමන්ත්‍ර‍ණය කෙරෙමින් “කුමක් තිබේ ද කැඳ තිබේ ද බත් තිබේ ද කැවිලි තිබේ ද කුමක් කම් ද කුමක් බොම් ද කුමක් බුදිම්දැ” යි ශ්‍ර‍මණ සාරුප්‍ය නොවු විකාර කථා කෙරෙත්. මේ වාචසික අනාචාරය යි දතයුතු.

මේ දැක්වූ කායික අනාචාරය හා වාචසික අනාචාර නොකිරීම ආචාරය වන්නේ ය.

තවද යම් කිසි භික්‍ෂු කෙනෙක් සෙසු වැඩිමහලු භික්‍ෂූන් කෙරෙහි ගෞරව හා යටත් පැවතුම් ඇති වැ - ලජ්ජා බියෙන් යුක්ත වැ - මනාකොට හැඳැ පෙරවැ- දුටුවන් පහදනා ගමනා - ගමනයෙන් ආලෝකන විලෝකනයෙන් අත් පා දිගුකිරීමෙන් හැකිලීමෙන් යුක්ත වැ, යට හෙළා ලු ඇස් ඇති වැ මනා ඉරියව්වලින් රැඳී ඉඳුරන් රැකවල් කොට ගෙන පමණ දැනැ වළඳමින් නින්දෙහි තත්පර නොවැ සිහි නුවණෙන් යෙදී අල්පේච්ඡ ව ලත් දෙයින් සතුටු ව අත් නොහළ වීර්‍ය්‍ය ඇති වැ ආභිසමාචරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ ආභිසමාචාරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ වෙසෙත් නම් එය ද ආචාරය යි කියනු ලැබේ.

ගෝචර වනාහි 1. උපනිස්සය ගොචරය, 2. ආරක්‍ඛ ගොචරය, 3. උපනිබන්‍ධ ගොචර යි ත්‍රිවිධ වේ.

1. උපනිස්සය ගෝචර නම්:- අල්පේච්ඡ කථා ආදි දශවිධ කථාවන්ට පිහිටි වූ ගුණෙන් යුත් කල්‍යාණ මිත්‍ර‍යායි හේ කෙබඳුවිය යුතු ද යත්? යම්බඳු කල්‍යාණ මිත්‍ර‍යකුගේ ආශ්‍රයෙන් පෙර නොඇසූ විරූ ධර්‍මම අසන්නේ ද, ඇසූවිරූ ධර්‍මම පිරිසිදු කර ගන්නේ ද, සැක තුබූ තන්හි සැක දුරු කර ගන්නේ ද, ස්වකීය දෘෂ්ටිය සෘජුකර ගන්නේ ද, සිත ප්‍ර‍සන්න වන්නේ ද, වැළිත් යම් කළ්‍යාණ මිත්‍ර‍යකු ගේ ආශ්‍රයෙන් ශ්‍ර‍ද්ධා ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍ර‍ඥා යන පංච ධර්‍මමයෙන් තෙමේ වැඩෙන්නේ ද, එබඳු ආචාර්‍ය්‍ය මෙහි කළ්‍යාණ මිත්‍ර‍ - (උපනිස්සය ගොචර) නම් වේ යයි දතයුතු.

2. ආරක්ඛ ගෝචර නම් :- ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්මයි. ඒ එසේ මැයි :- මේ සසුන් වන් පැවිදි තෙමේ ගමට වේවයි, වීථියට වේවයි වන් කල යට හෙළා ලූ ඇස් ඇති වැ වියදඬු පමණ බලමින් සංවර යුක්ත ව ගමන් කරයි ද, ඇතුන්, අසුන්, රථ, පාබලසෙනඟ දිසා බලමින් ස්ත්‍රීන් පුරුෂයන් දිසා බලමින් ගමන් නොකරයි ද, උඩ බලාගෙන හෝ පමණට වඩා බෙල්ල නවා බිම බලාගෙන ම හෝ ගමන් නොකරයි ද, දිසානුදිසාවන් (වටපිට) බල බලා හෝ ගමන් නොකරයි ද මේ ආරක්ඛ ගෝචර යයි දතයුතු.

උපනිබන්‍ධ ගෝචර නම් :- සිත බැඳ තැබීමට - (භාවනාවට) අරමුණු එනම් :- සතර සතිපට්ඨාන යි.

වදාළේ මැ යැ. “කො ච භික්ඛවෙ භික්ඛුනො ගෝචරො සකො පෙත්තිකො විසයො යදිදං චත්තාරො සතිපට්ඨානා”[95] යි ‘මහණෙනි, භික්‍ෂු හට සිය පිය සතු ගෝචරය කුමක් ද මේ සතර සතිපට්ඨානයෝ ය’ යනු එහි බාවයි. මේ උපනිබන්‍ධ ගෝචරය යි දතයුතු.

මේ දැක්වූ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ ද ආචාරගෝචර සම්පන්න නම් වේ යයි දතයුතු.

අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී = පරමාණු තරම් වූ ඉතා ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ (ඉතා ස්වල්ප වරද නම් නොදන මතක නැති වැ පැමිණෙන සේඛියා ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණ හා අකුසල සිත් ඉපදීම් ආදිය එබඳු සුලු වරද පවා පාරාජිකාපත්තියක් තරම් කොට සලකමින් යූ සේයි.)

සමාදාය සික්ඛති සික්ඛාපදෙසු = භික්‍ෂූන් විසින් ශික්‍ෂාපදයන් අතුරෙන් යමක් සමාදන් ව ගෙන රැක්ක යුතු ද ඒ සියල්ල රක්නේය යන අර්‍ථයි.

(මෙහි “පාතිමොක්ඛ සංවරසංවුතො” යන පදයෙන් මැ පුග්ගලාධිට්ඨාන- දේසනා වසයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වදාරන ලදී. සෙසු “ආචාරගෝචර සම්පන්නො” යනාදිය ඒ ශීලය රක්නහුගේ ප්‍ර‍තිපත්ති දක්වන පිණිස වදාරන ලදී. පුග්ගලාධිට්ඨානදේසනා නම්, ශීලය දැක්වුවමනා තන්හි ඒ ශීලය ඇති පුද්ගලයා වර්‍ණනා කොට දැක්වීමයි.)

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය නිමියේ ය.



2.  ඉන්ද්‍රිය සංවර ශීලය

“සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෙති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්‍වාධිකරණමෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍වා, ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා, ජිව්හාය රසං සායිත්‍වා, කායෙන ‍ඵොට්ඨබ්බං ඵුසිත්‍වා, මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති......පෙ.... මන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[96] යනු ඉන්‍ද්‍රිය සංවර සඳහා විභඞ්ගයෙහි වදාළ පාළියි. මෙහි අභිප්‍රාය පද පිළිවෙළින් දක්වනු ලැබේ.

සා= ඒ ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්ත වූ භික්‍ෂු.

චක්ඛුනාරූපං දිස්වා= චක්‍ෂුර්විඥානයෙන් රූප දැකැ(මෙහි චක්ඛු ශබ්දයෙන් රූපදර්‍ශනයට සමර්‍ථ වූ චක්ෂුර්විඥානය වදාළ බැව් දතයුතු.)

මේ පිළිබඳ පුරාණචාර්‍ය්‍යවරයන් ගේ මතය මෙසේ ය.

“ඇසට රූප නොදැක්ක හැකි ය. ඇස සිත නොවන හෙයිනි. සිතට ද රූප නො දැක්ක හැකි ය. සිත ඇස නොවන හෙයිනි. එසේ නම් ‘ඇසින් රූප දක්නේ ය’ යනු කෙසේ වන්නේ ද යත්? චක්‍ෂුර්ද්වාරයෙහි රූපාරම්මණය ගැටුණු විට ඒ චක්‍ෂුඃප්‍රාසාදය වස්තු කොට ඇති සිතින් රූප දක්නේ ය. ‘දුන්නෙන් විදියි’ කීකල දුන්න හේතු කොට ගෙන ඊතලයෙන් විදින්නාක් මෙනි. එහෙයින් “චක්ඛුනා රූපං දිස්වා” යූ තැන චක්‍ෂුර්විඥානයෙන් රූප යන අර්‍ථය දත යුතු ය” යනුයි.

න නිමිත්තග්ගාහි= පියොවුර ආදි ස්ත්‍රී නිමිති හෝ දැළි රැවුලු ආදි පුරුෂ නිමිති හෝ කෙලෙස් උපදීමට හේතු වන අන්‍ය නිමිති හෝ නොගන්නේ ය. හුදෙක් දුටු දෙය දුටු සැටියෙකින් මැ සලකා ගන්නේ ය යි සේයි.

න අනුබ්‍යඤ්ජනග්ගාහි= අනුබ්‍යඤ්ජන නොගන්නේ ය. අනුබ්‍යඤ්ජන නම්, කෙලෙස් ප්‍ර‍කට භාවයට පමුණුවන අත් පා සිනා කියුම් බැලුම් ආදිය පිළිබඳ ආකාරයි. එබඳු ආකාර ශුභ වශයෙන් නොගෙන ඇති සැටියේ අසුභ වශයෙන් මැ ගන්නේ යයි සේයි. සෑගිරියෙහි විසු මහාතිස්ස තෙරුන්නාන්සේ මෙනි.

මහාතිස්ස තෙරුනාන්සේගේ කථාව

සෑගිරියෙහි (මිහින්තලේ) විසූ මහාතිස්ස තෙරුන්නාන්සේ එක් දවසක් අනුරාධපුරයට පිඬු පිණිස වඩිමින් සිටිසේක. අනුරාධපුරයෙහි විසූ එක් කුලඟනක් සිය සැමියා කලහ කොට ගෙන ‘මේ වද විඳුවන දීගයට වඩා හුදෙකලාව ගෙයි රැඳුම යෙහෙකැ’යි සලකා ඇති මට්ටමින් හැඳ පැලඳ දෙවඟනක් මෙන් සැරසී උදෑසන මැ මිහින්තලේ දිසාවට යනු පිණිස මඟට බැස්සා ය. මාර්‍ගයෙන් ගමන් ගත් ඕ තොමෝ සන්සුන් පියොවින් මඟ වඩින වන්‍දනීය වූ තෙරුන් වහන්සේ දැක නින්‍දනීය අදහසක් උපදවා උන්වහන්සේ ලවා තමා දිසා බලනු පිණිස ශබ්ද නඟා කොමල සිනාවක් සීපුය. මූල කර්‍මස්ථානය මෙනෙහි කරමින් වඩින තෙරුන්වහන්සේ ඒ කුමක්දැයි බලන සේක් ඇයගේ විලිත්තු දත් ඇට පෙළ දැක ස්වකීය අසථික කර්‍මස්ථානය සිතට ආවිර්භුත වූයෙන් විදසුන් වඩා එහි දීම අර්‍හත් ඵලයට පැමිණි සේක.


ඇයගේ දත් ඇට දැක - සිහිකෙළෙ මුල් කමටහන
එහි මැ සිට ඒ තෙරණුවො - රහත් බවට පැමිණියෝ.[97]

ඇයගේ හිමියා ඇය සොයා එන්නේ තෙරුන්නාන්සේ දැක “ස්වාමීනි! මෙහි ගැහැණියක් ගියා දුටුදැ”යි විචාළේය.

එවිට තෙරුන්නාන්සේ


ගැහැණි ද පිරිමි දැයි - නො දනිමි දැන් මින් ගියේ
මහමඟ ඇට ගොඩක් නම් - ගමන් කරනු දුටුයෙමි[98]
යි කී සේක.

“යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්ස වෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[99]


‘යම් චක්‍ෂුරින්‍ද්‍රියයක් සංවර කොට නො ගෙන වාසය කරන පුද්ගලයා කරා රාග ද්වේෂාදි ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබැඳ එත් නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියය සංවර කරගැන්ම පිණිස පිළිපදනේ ය. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරය ට පැමිණෙන්නේ යි.’

සංවර අසංවර ස්ථාන විභාගය

ප්‍ර‍ශ්න:- චක්‍ෂුඃප්‍ර‍සාදය නිසා ස්මෘතියක් හෝ විස්මෘතියක් හෝ නූපදනා බැවින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයෙක් හෝ නැත්තේ නොවේ ද කුමක් හෙයින් “චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය”යි වදාළ සේක් ද පරිහාර මෙසේ ය.

චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ නැති බව සැබෑ ය. එතකුදු වුවත් රූපාරම්මණය චක්‍ෂුඃප්‍ර‍සාදයෙහි ගැටුණු විට භවාඞ්ග චිත්තය භවාඞ්ගචලන - භවාඞ්ග උපච්ඡෙද නමින් දෙවරක් ඉපදී නිරුද්‍ධ වූ කල්හි ඒ රූපය ම අරමුණු කරමින් පංචද්‍වාරාවජ්ජන චිත්තය එක වරක් උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි දර්‍ශන කෘත්‍යය සිද්‍ධ කරමින් චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි සම්පටිච්ඡව කෘත්‍යය සිද්‍ධ කරමින් සන්තීරණ චිත්තය ද, එය නිරුද්‍ධ වූ කල්හි ජවන් සිත් උපදනේ ය. මේ සිත් අතුරෙන් භවංග - පංචද්‍වාරාවජ්ජන චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - වොත්‍ථපන යන සිත්හි සංවර හෝ අසංවර හෝ නො වෙයි. ජවනක්‍ෂණයෙහි මැ දුස්සීල භාවය හෝ මුළාසිහිය හෝ අඥාන භාවය හෝ නොඉවසීම හෝ කුසිත භාවය හෝ වුණි නම් අසංවර වෙයි. මෙසේ අසංවරය ජවන් අවස්ථාවෙහි වුව ද චක්ඛුන්‍ද්‍රිය අසංවර යයි කියනු ලැබේ. කුමක් හෙයින් ද ජවන් සිත් හි අසංවරය වූ කල්හි චක්ඛුද්වාරය ද, භාවාඞ්ග ආවර්‍ජනාදි වීථි සිත් ද, අසංවර වන බැවිනි. නගරයෙහි ප්‍ර‍ධාන දොර සතර නොපියූ කල්හි ඇතුල්හි සුලු ද්වාර පියූවත් නගරය ආරක්‍ෂා සහිත නොවෙයි. ප්‍ර‍ධාන ද්වාරයන්ගෙන් සොරු ඇතුල් වැ නුවර බඩු පැහැර ගන්නා බැවිනි. එමෙන් ජවන් අසංවර වූ කල්හි චක්‍ෂුර්ද්වාරය ද, භවාඞ්ග ආවර්‍ජනාදි සිත් ද අසංවර මැ යි. ජවන සංවර වූ කල්හි චක්ඛුද්වාර භවංග ආවර්‍ජනාදිය ද සංවරය. ප්‍ර‍ධාන ද්වාර සංවර කල්හි මුළු නගරය ම ආරක්‍ෂා සහිත වන්නාක් මෙනි. මෙසෙයින් ජවනක්‍ෂණයෙන් වන සංවරය “චක්ඛුන්‍ද්‍රිය සංවර” යයි වදාළ සේකැ යි දතයුතු.

“සොතෙන සද්දං සුත්‍වා”.....පෙ.... ‘ශ්‍රොත්‍ර‍ විඥානයෙන් ශබ්ද අසා’ යනාදිය ද යට කියන ලද පරිදි මැ වන්නේ ය.

මෙසේ රූපාදිය නිමිති කොට සිත්හි කෙලෙස් ඉපැදීම වළකන්නේ ඉන්‍ද්‍රිය සංවර ශීලය යි දතයුතු.

ඉන්‍ද්‍රිය සංවර ශීලය නිමියේ ය.

0    0  0  0  0

3.  ආජීව පාරිසුද්‍ධි සීලය

“ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපදයන් ව්‍යතික්‍ර‍මණය කිරීම් වශයෙන් ද, කුහනා-ලපනා-නෙමිත්තකතා-නිපෙපසිකතා-ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන් ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීව පාරිසුද්‍ධි සීලය යි” යනු යට දක්වන ලදී.

මෙහි ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද මෙසේ ය.

(1) පාරාජිකාව පාපෙච්ඡ වූ යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් තමා සතන්හි අවිද්‍යමාන වූ ධ්‍යාන - මාර්‍ග - ඵලාදි උත්තරි මනුෂ්‍ය තමා කෙරෙහි ඇතැයි කියා නම් ඒ භික්‍ෂු පාරාජිකාපත්තියට පැමිණෙයි.

(2) සංඝාදිසේසය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුන් පිළිබඳ එකෙනෙහි වන සංගමය පිණිස හෝ ඔවුනොවුන්ගේ පණිවිජ කියා නම් ඒ භික්‍ෂු සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණෙයි.

(3) ථූල්ලච්චය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීවය හේතුකොට ගෙන දායකයා හට “නුඹගේ විහාරයෙහි වසන භික්‍ෂු රහතන් වහන්සේ නමෙකැ” යි තමා උදෙසා අනියමයෙන් කියා නම් ඒ භික්‍ෂු ථුල්ලච්චයාපත්තියට පැමිණෙයි.

(4) පාචිත්තිය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් නොගිලන් වූයේ ම ආජීවය හේතු කොට ගෙන කිරි ආදි ප්‍ර‍ණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂු පාචිත්තියා පත්තියට පැමිණෙයි.

(5) පාටිදේසනීය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා මැ ප්‍ර‍ණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී පාටිදෙසනීයාපත්තියට පැමිණෙයි.

(6) දුක්කටය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා ම සූප හෝ ඕදන හෝ තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී දුකුළා ඇවැතට පැමිණෙයි.

මේය ආජීවය හේතු කොට පණවා වදාළ ශික්‍ෂාපද සය නම්:

මේ ෂඩ්විධ ශික්ෂාපද ව්‍යාතික්‍ර‍මණය කරන්නහුගේ ආජීවය අපිරිසිදු වේ. එපමණක් ද නොවෙයි. කුහනාදි වශයෙන් ජීවත් වන්නාහුගේ ද ආජීවය අපිරිසිදු වෙයි. ඒ කුහනාදිහු මතු දක්වනු ලැබෙත්.

කුහනා.

“තත්‍ව කතමා කුහනා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පච්චය පටිසෙධන සංඛාතෙන වා සාමන්නජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාවකුටියං කුහනා කුහායනා කුහිතත්තං අයං වුච්චති කුහනා”[100] යනු මේ වදාළ නිර්‍දෙශ පාළියි. එහි කුහනා නම් කිම?

‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වූ, පාපේච්ඡ වූ හෙවත් නැති ගුණ දක්වනු කැමැති වූ, ලෝභයෙන් මඩනා ලද්දා වූ, භික්‍ෂුවගේ පච්චයපටිසෙධන වශයෙන් හෝ සාමන්තජප්පන වශයෙන් හෝ ඉරියාපථසන්නිස්සිත වශයෙන් හෝ යම් මුහුණ හකුළුවන බවෙක් කුහක බවෙක් වෙයි ද එය කුහනා යයි කියනු ලැබේ. යනු එහි සංක්‍ෂිප්ත භාවයි.

මෙයින් මහා නිර්‍දෙශයෙහි[101] දක්වන ලද 1. පච්චයපටිසෙධන, 2. සාමන්තජප්පන, 3. ඉරියාපථසන්නිස්සති යන ත්‍රිවිධ කුහක වස්තු ප්‍ර‍කාශිත බව දත යුතුයි.

1. පච්චය පටිසෙධන කුහනාව.

දායකයෙක් භික්‍ෂුවක් හට චීවරාදි ප්‍ර‍ත්‍යයන් අතුරෙන් යමක් පිළිගන්වයි. ඒ භික්‍ෂුව එයින් ප්‍රයෝජන ඇත්තේ මැ ගනු කැමැත්තේ මැ “මට වුවමනා නැතැ” යි ප්‍ර‍තික්‍ෂේප කරයි. එවිට දායකයා වඩා සතුටු වැ “අහෝ අපේ ස්වාමීන් වහන්සේ අල්පේච්ඡය. කිසිවක් පිළිගන්නට නො කැමැති සේක. අපට වූයේ මහා ලාභයෙක. කෙසේ නමුත් උන්වහන්සේට ප්‍ර‍ත්‍යය සිඟිත්තක් පිළිගන්වා ගත මැන වැ”යි නානාවිධ උපායයෙන් වටනා සිවුරු ආදිය පිළියෙළ කොට ගෙන අවුත් පෙරැත්ත කරයි. එවිට භික්‍ෂු ඔහුට ම අනුග්‍ර‍හ සඳහා පිලිගන්නා සැටි අඟවා ඒ සිවුරු ආදිය පිළිගනියි.

එතැන් පටන් කරත්ත බරට ගෙනවුත් පිළිගන්වන ආකාරයෙන් ජනයා විස්මය පත් කරන මේ කුහක භාවය පච්චය පටිසෙධන කුහක වස්තුය යි දත යුතු. වදාළේ මැ යි.

මහා නිර්‍දෙශයෙහි :-

“කතමං පච්චය පටිසෙධන සඞ්ඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙනති චීවරපිණ්ඩපාත සෙනාසන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙහි. පාපිච්ඡො ඉච්ඡාපකාතා අත්‍ථිකො චීවර ---පෙ----පරික්ඛාරානං භිය්‍යො කම්‍යතං උපාදාය චීවරං පච්චක්ඛාති. පිණ්ඩපාතං ---පෙ---සෙනාසනං ----පෙ---- භීලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ, කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නත්තකානි වා උච්චිනිත්‍ථා සංඝාටිං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන එතං සාරුප්පං යං සමණො උඤ්ජාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන එතං සාරුප්පං යං සමණො රුක්ඛමූලිකො වා අස්ස අබ්හොකාසිකො වා කිං සමණස්ස මහග්ඝෙන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙන එතං සාරුප්පං යං සමණො පූතිමුත්තෙන වා හරීටකඛණ්ඩෙන වා ඔසධං කරෙය්‍යාති. තදූපාදය ලූඛං චීවරං ධාරෙති ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං චීවර ධාරති ලුඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං සෙනාසනං පටිසෙවති. ලුඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති. අයං සමණො අප්පිචෙඡා සන්තුට්ඨො පවිවිතෙතා අසංසටෙඨා ආරඬවිරියෝ දුත වාදො ති භීය්‍යො භීය්‍යො නිමන්තෙන්තී චීවර -----පෙ---- පරීක්ඛාරෙහි සො එවමාහග තිණණං සම්මුඛීභාවා සද්ධා කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්‍යධම්මස්ස ----පෙ----- දක්ඛිණෙය්‍යානං සම්මුබීභාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති. තුමහාකඤෙච වායං සද්ධා අත්‍ථී. දෙය්‍යධම්මො ච සංවිජ්ජති. අහං ච පටිග්ගාහකො. සචාහං න පටිග්ගහෙස්සමා එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවස්සථ. න මය්හං ඉමිනා අත්‍ථො අපි ච තුමහාකං යෙව අනුකම්පාය පතිගුණ්හාමි’ති තදුපාදායං බහුං පි චීවරං පතිගණ්හාති. බහුම්පී පිණ්ඩපාතං ----පෙ---- භෙසජ්ජපරික්ඛාරං පතිගණ්හාති. යා එපරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං ඉදං වුච්චති පච්චයපටිසෙධන සංඛාතං කුහනවත්‍ථුති.[102]

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය.

“පච්චයපටිසෙධන සංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්හි ගෘහපතියෝ භික්‍ෂුවකට චීවරාදි සිව්පසයෙන් නිමන්ත්‍ර‍ණය කෙරෙති. පාපෙච්ඡ වූ ඉච්ඡාපකත වූ භික්‍ෂු ඒ සිව්පසයෙන් ප්‍රයෝජන ඇත්තේ නමුදු වැඩියක් ගනු කැමැත්තේ ප්‍ර‍තික්‍ෂේප කෙරෙමින් මෙසේ කියයි. “මහණුන්ට මහාර්‍ඝ සිවුරු කුමකට ද ඔවුන්ට වටනේ සොහොනින් හෝ කසල ගොඩෙන් හෝ රෙදි කැබලි අවුලා මසාගෙන පොරවන්නට ය. මහණුන්ට ප්‍ර‍ණීත පිණ්ඩපාත කුමට ද ඔවුන්ට වටානේ සිඟාගෙන වළඳන්ට ය. මහණුන්ට මඇඟි සෙනසුන් කුමට ද ඔවුන්ට වටනේ රුක්ඛමූලික වැ හෝ අබ්භොකායික වැ හෝ වසන්ට ය. මහණුන්ට අනර්‍ඝ ගිලන්පස බෙහෙත් පිරිකර කුමටද ඔවුන්ට වටනේ පූතිමුත්‍රයෙන් හෝ අරළුයෙන් හෝ බෙහෙත් කරන්නට ය.” මෙසේ කියමින් එය මැ පෙන්වනු සඳහා රූක්‍ෂ වූ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. ඒ දක්නා ගැහැවියෝ “මුන්වහන්සේ අල්පේච්ඡය සන්තුට්ඨය පවිචිත්තය අසංසට්ඨය ආරද්ධවිරිය ය ධුතවාදියා” යි වඩ වඩා ලා සතුටු වැ සිව්පසෙන් පෙරැත්ත කෙරෙති. එවිට ඒ භික්‍ෂු “ශ්‍ර‍ද්ධා, දේයධර්‍ම, ප්‍ර‍තිග්‍රාහක යන තුන් වස්තුන්ගේ සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍රයෝ පින් රැස්කර ගනිති. තොපට ශ්‍ර‍ද්‍ධාව හා දෙයදර්‍ම (දානවස්තුව) ඇත්තේ ය. මම වූ කලී ප්‍ර‍තිග්‍රාහකයෙමි. ඉදින් මම නොපිළිගන්නෙම් නම් තොපි පිනින් බැහැර වන්නහු ය. මට මේ පසයෙන් ප්‍රයෝජන නැතත් තොපට අනුකම්පා සඳහා පිළිගනිමි” යි මෙසේ බණ දෙසමින් බොහෝ බොහෝ සිවුරු ආදිය පිළිගනියි. මෙබඳු භාකුටිතායෙක් කුහක භාවයෙක් වේ නම් එය පච්චය පටිසෙධන සංඛ්‍යාත කුහක කම වන්නේය. පච්චය පටිසෙධන නම්, ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්‍ෂේප කිරීමයි.

2.  සාමන්ත ජප්පන කුහනාව

පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් තමන් කෙරෙහි නැති උතුරු මිනිස් දම් ගුණ ඇති සේ කොට දක්වන කථායෙන් ජනයා විස්මය පත් කෙරේ නම් එය සාමන්ත ජප්පන කුහන වස්තුය යි දතයුතු. (උතුරු මිනිස් දම් ගුණ නම්, ධ්‍යාන-මාර්‍ග-ඵලය).

වදාළේ මැ යි :-

“කතමං සාමන්නජප්පනසංඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනධිප්පා යො එවං මං ජනො සම්භාවෙස්සතී’ති අරියධම්ම සන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති සො සමණො මහෙසක්ඛො’ති භණති. යො එවරූපං පත්තං ලොහථාලකං ධම්මකරකං පරිස්සාවනං කුඤ්චිකං කායබන්‍ධනං උපාහනං ධාරෙති සො සමණො මහෙසාක්ඛො’ති භණති. යස්ස එවරූපො උපජ්ඣායො ආචරියො සමානුපජ්ඣායකො සමානාචරියකො මිත්තො සන්‍දිට්ඨො සමම්භත්තො සහායො. යො එවරූපෙ විහාරෙ වසති. අඩ්ඨයොගො පාසාදෙ හම්මියෙ ගුහාය ලෙණෙ කුටියා කූටාගාරෙ අට්ටෙ මාලෙ උද්දණ්ඩෙ උපට්ඨාන සාලායං මණ්ඩපෙ රුක්ඛමුලෙ වසති. සො සමණො මහෙසක්ඛොති භණති. අථවා කොරඤ්ජික කොඤ්ජි කො භාකුටික භාකුටිකො කුහකුහො ලපලපො මුඛසම්භාවිතො අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තිනං ලාභිනි තාදිසං ගම්භීරං ගුළ්හං නිපුණං පටිච්ඡන්තං ලොකුත්තරං සුඤ්ඤතා පටිසංයුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිත්තං ඉදං වුච්චති සාමන්තජප්පන සංඛාතං කුහනවත්‍ථුති”[103]

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.


‘සාමන්තජප්පන කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් ඉච්ඡායෙන් මඩනා ලද බුහුමන් ලබනු කැමති පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් “මෙසේ කථාකල කල්හි මට මහජනයා බුහුමන් කරති”යි සලකා ආර්‍ය්‍යධර්‍ම නිශ්‍රිත කොට කථා කරයි. මෙසේ කථා කෙරේ ද යත්? “යමෙක් මේ නියා සිවුරු ධරා නම්, මේ නියා පාත්‍ර‍ ලොහොතලු ඩබරා පෙරහන් යතුරුමුදු කාබහන් වහන් ධරා නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙකුට මෙබඳු උපාධ්‍යාය-ආචාර්‍ය්‍ය-සමානොපාද්ධ්‍යාය-සමානාචර්‍ය්‍යවරයෝ ඇත් නම්, යමෙකු මෙබඳු සන්‍දෘෂට-සම්හක්ත මිත්‍රයෝ ඇත් නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙක් මෙබඳු විහාරයෙක අඩ්ඪයොග-ප්‍රාසාද-හම්මිය-ගුහා-ලෙණ-කුටි-කූටාගාර-අට්ට-මාල-උද්දණ්ඩ-උපට්ඨානසාලා-මණ්ඩප-රුක්ඛමූලයෙක වෙසේනම් ඒ මහණ මහේශාක්‍යය”යි කියයි. තව ද හැකිළැ හැකිළැ මුහුණ හකුළ හකුළා කුහක කුහක වැ ප්‍ර‍ලාප දොඩ දොඩා කටින් මැ අනුන් විසින් සම්භාවනා කරන ලද්දේ මේ මහණ මෙබඳු ශාන්ත විහාර සමාපත්තීන් ලැබ සිටින්නේය යි හැඟෙන සේ ඊට සරිලන ගැඹුරු-ගුඪ-සායුම්-ප්‍ර‍තිච්ඡන්න-ශුන්‍යතාවයෙන් යුක්ත-ලොකොත්තර කථා කෙරෙයි. මෙබඳු කුහක බවෙක් වෙයි නම් එය සාමන්න ඡප්පන සඞ්ඛ්‍යාත කුහක වස්තුය යි කියනු ලැබේ.
3.  ඉරියාපථසන්නිස්සිත කුහනාව

“පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් ලෝකයාගෙන් බුහුමන් ලබන කැමැත්තෙන් යාම් ඉදීම් ආදි ඉරියව්වෙන් මහා ජනයා විස්මය පත් කෙරේ නම් එය ඉරියාපථසන්නිස්සිත කුහනා වස්තුව යයි දතයුතු. වදාළේ මැයි.

“කතමං ඉරියාපථසංඛ්‍යාතං කුහන වත්‍ථු? ඉධෙ කච්චො පාපිචෙඡා ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො එවං මං ජනො සමභාවෙස්සතීති ගමනං සණ්ඨපෙති. සයනං සණ්ඨපෙති. පණිධාය ගච්ඡති. පණිධාන තිට්ඨති. පණිධාය නිසීදති. පණ්ධාය සෙය්‍යං කප්පෙති. සමාහිතො විය ගච්ඡති. සමාහිතො විය තිට්ඨති. නිසිදති. සෙය්‍යං කප්පෙති. ආපාථකජ්ක්‍ඩායී ච හොති. යා එවරූපස්ස ඉරියාපථස්ස අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටිං කුහනා කුහායනා කුහිත්තතං ඉදං වුච්චති ඉරියාපථ සංඛාතං කුහනවත්‍ථු”[104] ති.

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

ඉරියාපථසංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් - ඉච්ඡායෙන් මඩනා ලද - බුහුමන් ලබනු කැමැති පාපේච්ඡ භික්‍ෂු “මෙසේ කළ කල්හි මහා ජනයා මට බුහුමන් කරත්” යයි සලකා ගමන් කරයි. සයනය කරයි. තමා උතුරු මිනිස් දම් ඇතියෙකැයි දුටුවන්ට වැටහෙන සේ යයි. සිටියි. ඉඳියි. හොවියි. පැණෙන තැන සමාපත්තියට සමවන්නහු මෙන් හිඳියි. මෙසේ ඉරියව් පැවැත්වීම් වසයෙන් දක්වන කුහක බවෙක් වෙයි ද එය ඉරියාපථ සඞ්ඛ්‍යාත කුහක බව යයි කියනු ලැබේ.

කුහන යන පදයෙහි විස්තරයයි.

ලපනා

“තත්‍ථා කතමා ලපනා? ලාභසක්කාර සිලොක සන්නිස්සි තස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණිතා චාටුකම්‍යතා මුග්ගසුප්‍යතා පාරිභට්ටතා අයං වුච්චති ලපනා”[105]

එහි ලපනා නම් කිම?

‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වු - පාපෙච්ඡ වූ - ලොභවෙන් මැඩීගත් භික්‍ෂුවකගේ පරා (අනුන්) පිළිබඳ යම් ආලපනාවක් ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක් සමුන්නහනාවක් උක්කාචනාවක්, සමුක්කාචනාවක්, අනුප්පියභාණිතාවක්, චාටුකම්‍යතාවක්, මුග්ගසුපත්‍යතාවක්, පාරිභට්ටතාවක්, වේද එය ලපනා යයි කියනු ලැබේ’ යනු භාවයි.

මෙහි ආලපනා ආදිය පිළිබඳ විවරණය මෙසේ දතයුතු.

1.  ආලපනාව= විහාරස්ථානයට පැමිණි මිනිසුන් දැකැ පින්වතුනි! මේ කුමට අවු ද. කිම! ආරාධනාවක් කරන්නටද හොඳා! එසේ නම් යන්න. මම පසු වැ එන්නම්”යි මේසේ පළමු කොට මැ කථාවට පටන් ගැන්ම ආලපනාය, නොහොත් තමන් උසස් තැන තබා “මම තමා....... කියන්නේ. රජ්ජුරුවෝ මා ගැන බොහෝ ප්‍ර‍සන්නය. අසවල් අසවල් රාජ මහා මන්ත්‍රිවරු මා කෙරෙහි ප්‍ර‍සන්නය” යි මෙසේ තමා උසස් තැන තබා කථා කිරීම හෝ ආලපනාය.

2.  ලපනාව= විතාළ කෙනෙකුන්ට එසේ කීම ලපනාය.

3.  සල්ලපනාව= දායකයන් කළකිරීමෙහි භිතියෙන් ඔවුන්ට ද අවකාශ තබා කථා කිරීම සල්ලපනාය.

4.  උල්ලපනාව= “මේ තමා මහා ධනවතා, මේ තමා මහා නාවිකයා, මේ තමා මහා දානපතියා” යනාදීන් දායකයා උසස් කොට තබා කථා කිරීම උල්ලපනාය.

5.  සමුල්ලපනාව= “සර්‍වපකාරයෙන් මැ දායකයා උසස් කොටැ කථා කිරීම සමුල්ලපනාය.

6.  උන්නහනාව= උපාසකවරුනි ඉස්සර නම් මේ කාලයේ අලුත් දන් දුන්නහු ය. දැන් කුමක් හෙයින් නොදෙන්නහු දැ” යි විචාරා හෙතෙමේ “ස්වාමීනි! දැනුදු දෙන්නෙමි අවකාශ නැතියෙන් ප්‍ර‍මාද වන්නෙමි” යි යම් තාක් කියයි ද, ඒ තාක් වෙළාලීම උන්නහනාය. නොහොත් උක් දණ්ඩක් අතේ ඇති වැ පැමිණි උපාසකයෙකු දැකැ “උපාසකය! මේ කොයින් ගෙනෙන ලදැ” යි විචාරා “ස්වාමීනි! කෙතින්” යයි කී කල්හි “කිමෙක උපාසකය එහි උක් මිහිරි දැ”යි විචාරා ස්වාමීනි! කාලා දැන ගත යුතුයි”යි කී කල්හි “උපාසකය! “භික්ෂූන්ට උක් දියයුතුය’යි කියන්නට නොවටනේය”යි කියමින් මෙසේ නිරවුල් වැ කථා කරන දායකයා අවුලේ ලා කථා කිරීම හෝ උන්නහනාය.

7.  සමුන්නහනාව= සර්‍වප්‍ර‍කාරයෙන් අවුලේ ලා කථා කිරීම සමුන්නහනාය.

8.  උක්කාචනාව= “මෙ ගෙයි වැසියෝ ඉදින් මා හඳුනත් නම් මෙහි සියලු දෙය ධර්‍මය මට ම දෙති”යි උද්දීපනය උක්කාචනාවය.

තෙලන්‍දරික කථා වස්තුව මෙහි ලා නිදර්‍ශනයි.

9.  සමුක්කාචනාව= සර්‍වප්‍ර‍කාරයෙන් මෙසේ උද්දීපනය සමුක්කාචනාවය.

10.     අනුප්පියභාණිතාව සත්‍යානුකුලත්‍වය හෝ ධර්‍මානුකුලත්‍වය නොබලා නැවත නැවත ප්‍රිය කථා කිරීම අනුප්පියභාණිතාවය.

11.     චාටුකම්‍යතා= නීචවෘත්තියත්‍වයයි. හෙවත් තමා දායකයාට වඩා පහත් වැ පැවැත්ම යි.

12.     මුග්ගසුප්‍යතාව= මුං ඇට තැම්බූ කල්හි කොටසක් පැසී කොටසක් නොපැසී තිබෙන්නා සේ යමෙක් කථා කරන කල්හි කොටසක් සත්‍ය වැ කොටසක් අසත්‍ය වැ තිබේ නම් ඒ පුද්ගලයා මුග්ගසුප්පය යි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය මුග්ගසුප්‍යතාය.

13.     පාරිහට්ටතාව= කිරි මවුන් මෙන් කුලදරුවන් ඇකයෙන් කරින් වඩා ගැන්ම පාරිහට්ටතාය.

ලපනා යන පදයෙහි විස්තරය යි.

නෙමිත්තිකතා

“තත්‍ථ කතමා නෙමිත්තිකතා? ලාභ සක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යං පරෙසං නිමිත්තං නිමිත්තකම්මං, ඔහාසො ඔහාසකම්මං සාමන්නජප්පා පරිකථා අයං වුච්චති නෙමිත්තිකතා”[106]

එහි නෙමිත්තකතා නම් කිම?

ලාභ සත්කාර කිර්‍තතිකාමී වූ - පාපෙච්ඡ වූ - ඉච්ඡාපකත වූ - භික්‍ෂුව ගේ පරා පිළිබඳ යම් නිමිත්තයෙක් නිමිත්තකර්‍මයෙක් ඔහාසයෙක් ඔහාසකම්මයෙක් සාමන්තජප්පාවෙක් පරිකථාවෙක් වෙයි ද එය නෙමිත්තිකාතාය යි කියනු ලැබේ.

නිමිත්තාදීන්ගේ විවරණය මෙසේ ය.

1.  නිමිත්ත නම්, ප්‍ර‍ත්‍යය දීම සඳහා මෙරමා හට සිත් උපදවන කාය කර්‍ම හා වාක් කර්‍මය.

2.  නිමිත්තකර්‍ම නම්, කෑමක් ගෙන යන්නවුන් දැක “කිම කෑමක් ලැබුවහු ද යනාදි නියායෙන් නිමිති කිරීමය.

3.  ඔභාස නම්, ප්‍ර‍ත්‍යය පිළිබඳ කථා කිරීමය.

4.  ඔභාසකම්ම නම්, වසුපල්ලන් දැකැ ‘කිම මොහු කිරි වස්සෝ ද වෙඬරු වස්සෝ දැ”යි විචාරා “ස්වාමීනි කිරි වස්සෝය”යි කී කල්හි “මොවුන් කිරිවස්සනු වුව නොහැක ඉදින් කිරිවස්සෝ නම් භික්‍ෂූහු ද කිරි ලබන්නාහු”යි මේ ආදි නියායෙන් කියා කුඩා දරුවන් ලවා ඔවුන්ගේ මවුපියන්ට දන්වා කිරි දොවවා ගැනීම් ආදිය යි.

5.  සාමන්තජප්පා නම්, කුලුපග භික්‍ෂු මෙන් ආසන්න කොටැ කථා කිරීමය.

කුලුපග භික්‍ෂු

එක් කුලුපග භික්‍ෂුවෙක් වළඳන රිස්සෙන් මැ ගෙයකට වැදැ අස්නෙක හුන්නේ ය. ගෙයි ඇත්තී උන්වහන්සේ දැක කිසිවක් නොදෙන අටියෙන් “අද ගෙදොර සහල් නැතැ”යි කියා ගෙන සහල් ගෙනෙන්නට යන ලීලාව සඟවා අසල් ගෘහයකට ගියා ය. ඒ අතර භික්‍ෂු ඇතුල් ගැබට වැදැ වට පිට බලන්නේ දොරමුල්ලේ උක්ගස ද, භාජනයක සකුරු ද, පැසෙක ලුණු මාලු ද, සැළියෙක සහල් ද කළයක ගිතෙල් ද තිබෙනු දැක නික්මැ අවුත් කිසිවක් නොදන්නා කෙනෙකුන් මෙන් උන් තැනැ මැ උන්නේ ය. ගෙයි ඇත්තී “සහල් ලබා ගත නොහැකි වීය”යා කියා ගෙන ගෙට ආවා ය. භික්‍ෂු කියන්නේ “උපාසිකාවෙනි! අද දන් නො ලැබෙන බව මම එද්දී ලත් පූර්‍ව නිමිත්තයෙන් මැ දැන ගතිමි”යි කීවේ ය. “ස්වාමීනි! කවර පූර්‍ව නිමිත්තයෙක්දැ යි”යි අසන ලද්දේ “උපාසිකාවනි! ගෙයි මුල්ලේ උක්ගස බඳු සර්‍පයකු දුටුයෙමි. “ඌ ගසා එළවමි”යි අවට බලන්නේ භාජනයෙහි සකුරු කැට බදු ගල් කැට ද, පහර කෑ සර්‍පයා විසින් පැසෙහි ලුණු මාලු පලුව මෙන් දැක්වූ පෙණය ද, කැට ගල් ඩහන්නට පැනගත් සර්‍පයාගේ සැළියෙහි සහල් බඳු දත් ද, කුපිත වූ සර්‍පයාගේ මුඛයෙන් ගිලිහුණු කළයෙහි ගිතෙල් බඳු විෂ මිශ්‍ර‍ කෙළ ද දුටුවෙමි”යි යළිත් කීවේ ය. ඕ “මේ මුඩු ශ්‍ර‍මණයා වංචා කළ නොහැකි”යි උක්ගස කපා පිළිගන්වා නැවත බත් පිසැ ගිතෙල් සකුරු හා මස් සමග පිලිගැන්වූවා ය.

මෙසේ ආසන්න කොටැ බිණීම සාමන්තජප්පාය යි දතයුතු.

6.  පරිකථා නම් යම් සේ කථා කළ විට ලැබේ නම් එසේ පෙරළ පෙරළා කථා කිරීම ය.

නෙමිත්තකතා යන පදයෙහි විස්තරය යි.

නිප්පෙසිකතා.

“තත්‍ථ කතමා නිප්පෙසිකතා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්හනා ගරහණා උක්ඛෙපණා සාමුක්ඛෙපණා ඛිපනා සංඛිපනා පාපනා සම්පාපනා අවණ්ණාහාරිතා පරපිට්ඨිමංසිකතා අයං වුච්චති නිප්පෙසිකතා”[107]

‘එහි නිප්පෙසිකතා නම් කිම? ලාභ සත්කාර කීර්‍තතිකාමි වූ පාපෙච්ඡ වූ, ඉච්ඡාපකත වූ භික්‍ෂුවගේ පරහට යම් අක්කොසනාවෙක් ගරහණාවෙක් උක්ඛෙපනාවෙක් සමුක්ඛෙපනාවෙක් ඛිපනාවෙක් සංඛිපනාවෙක් පාපනාවෙක් සම්පාපනාවෙක් අවණණහාරිතාවෙක් පරසිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පෙසිකතාය යි කියනු ලැබේ.

අක්කොසනාදීන්ගේ විවරණය මෙසේ ය.

1.  අක්කොසනා = දශ ආක්‍රොශ වස්තුයෙන් ආක්‍රොශ කිරීමය

2.  වම්හනා = බැණ දෙඩීම ය.

3.  ගරහණා = “අස්සාද්‍ධාවන්තයා, අප්‍ර‍සන්නයා” යනාදී නයෙන් දොෂාරොපනය කිරීම ය.

4.  උක්ඛෙපණ = “කට වහගනු” යනාදින් වචනයෙන් ඔසවා දැමීම ය.

5.  සමුක්ඛෙපණා = සර්‍වප්‍ර‍කාරයෙන් හේතු සහිත වැ එසේ ඔසවා දැමීම නොහොත් නොදෙන්නෙකුට “අනේ දානපතිය!” යනාදීන් වචනයෙන් උසස් කිරීම උක්ඛෙපනාවය, මොනවට එසේ උසස් කිරීම සමුක්ඛෙපනාව ය.

6.  ඛිපනා = “බිජුවට කන මොහුගේ ජීවිතය කිමදැ”යි කවට කම් කිරීම ය.

7.  සංඛිපනා = මොහුට නොදෙන්නා යයි කුමට කියත් ද ඇම කල්හි මෙතෙමේ නැත යනු දෙන්නේ ය”යි කියා වඩාලාත් කවටකම් කිරීම ය.

8.  පාපනා = නොදෙන බව නොහොත් නුගුණ සැම තැන පැමිණවීම ය.

9.  සම්පාපනා = සර්‍වප්‍ර‍කාරයෙන් එසේ පැමිණවීම ය.

10.     අවණ්ණහාරිතා = “දොස් කීමට බියෙන් වත් දෙන්නේ ය” යි සිතා ගෙන් ගෙට ගමින් ගමට දනව්වෙන් දනව්වට නුගුණ ගෙන යාම ය.

11.     පරපිට්ඨිමංසිකතා = සම්මුඛයෙහි මිහිරි සේ ගුණ කියා අසම්මුඛයෙහි නුගුණ කීමයි. මේ වනාහි ඉදිරිපිටදී බැලීම් මාත්‍ර‍යකුදු නොකොටැ පිටු පෑවිට පිටු මස් කෑම වැනි එකෙක. එබැවින් පරපිට්ඨිමංසිකතාය යි කියනු ලැබේ.

මේ යට දැක්වුණු අක්කෝසනාදි කථා වනාහි හුණ පතුරෙන් ඇඟ සූරා පිස දමන්නා සේ මෙරමාගේ ගුණ සූරා පිස දමන්නේ ය. නැතහොත් සුවඳ ද්‍ර‍ව්‍ය සුණු කොටැ සුවඳ ආඝ්‍රාණය කරන්නා සේ මෙරමා ගුණ සුණු කොටැ ලාභ සොයා ගන්නේ යි එබැවින් නිප්පෙසිකතා යයි කියනු ලැබේ.

නිප්පෙසිකතා යන පදයෙහි විස්තරය යි.

ලාභෙන ලාබං නිජිගිංසනතා.

“තත්‍ථ කතමා ලාභෙන ලාභං නිජිගිංසනතා? ලාභ සක්කාර සිලොකසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්‍ර‍ හරති අමුත්‍ර‍ වා ලද්‍ධං ආමිසං ඉධාහරති. යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙසි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා”ති.[108]

එහි ලාභයෙන් ලාභය සෙවීම නම් කිම?

ලාභ සත්කාර කීර්‍තතිකාමි = පාපෙච්ඡ - ඉච්ඡාපකත - භික්‍ෂු මේ ගෙයින් ලත් ආමිෂය අනෙක් ගෙයකට ගෙනයයි. ඒ ගෙයින් ලත් ආමිෂය මේ ගෙට ගෙන යයි. මෙ බඳු වූ ආමිෂ පිළිබඳ යම් කැමැත්තෙක් සෙවීමෙක් නැවැත නැවැත සෙවිමෙක් වේ ද, එය ලාභයෙන් ලාභය සෙවීම යයි කියනු ලැබේ. යනු භාවයි. මුල පටන් ලත් භික්‍ෂාව ඒ ඒ ගෙවල දරුවන්ට දීලා අන්තයෙහි කිරිකැඳක් ලබා ගෙන ගිය භික්‍ෂුවගේ කථාව මෙහි දැක්විය යුතුවේ.

ආදි ශබ්දයෙන් “යථා වා පනෙකෙ භොන්තෙ සමණ බ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්‍ටා තෙ එව රූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථීදං? අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්තං අග්ගිහොමං දබ්බිහොමං”[109] යනාදි වශයෙන් බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාළ අනේකවිධ පාප ධර්‍ම ගත යුතුය. “මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් සැදැහැවතුන් දුන් බොජුන් වළඳා මෙබඳු වූ තිරශ්චින විද්‍යායෙන් මිච්ඡාජීවයෙන් ජීවත් වෙත්. කෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් ද යත්? අඞ්ගශාස්ත්‍ර‍ය, නිමිත්ත ශාස්ත්‍ර‍ය, අග්නි ආදි උත්පාත ශාස්ත්‍ර‍ය, ස්වප්න ශාස්ත්‍ර‍ය, ලක්‍ෂණ ශාස්ත්‍ර‍ය, මීයන් වස්ත්‍රාදිය කෑ කල වන පල කීමය. මෙනම් ගින්නෙන් හෝම කළ කල මෙනම් සැන්දෙන් හෝම කළ කල මෙබඳු ඉෂ්ට විපාක වන්නේය යි දැක්වීම”ය යනු පාළියේ භාවය යි.

මෙසේ ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම වශයෙන් ද, කුහනා කපනා නෙමිත්තකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන්ගේ වශයෙන් ද, දිවි පැවැත්වීම මිච්ඡාජීවය යි. ඒ සර්‍වාකාර මිථ්‍යා ජීවයෙන් වෙන්වීම ආජීව පාරිසුද්ධි සීලයයි. “එතං ආගම්ම ජීවතී ති ආජීවො - කො සො? පච්චය පරියෙසන වායාමො. පාරිසුද්‍ධි’ති පරිසුද්ධතා ආජීවස්ස පාරිසුද්ධි ආජීවපාරිසුද්ධි” යනු මෙහි වචනාර්ථයි.

ආජීව පාරිසුද්ධි සීලය නිමියේ ය.


4.  ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත සීලය

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය” යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කිරීම පච්චය සන්නිස්සිත සීලය යි යට දක්වන ලදි. එහි විස්තරය මෙසේ ය.

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය ඩංසමකස්වාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්‍ථං”[110] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් සිවුරු හැඳිය යුතු පෙරෙවිය යුතු. “නුවණින් සළකා මම සිවුරු වළඳමි. කුමක් පිණිස යයි සලකා සිවුරු වළදිම් ද යත්? හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිසය, මැසි මදුරු අව් සුළ දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ සපර්‍ශ නසනු පිණිස ය. වැළි අන්තිම පරිච්ඡෙදයෙන් ලජ්ජා කුප්පන ස්ථාන මුවහ කරගනු පිණිස යයි මෙසේ නුවණින් සලකා සිවුරු වළඳිමි” යනු එහි භාවයි.

විවරණය මෙසේ ය.

පටිසංඛා යොනිසො = උපායයෙන් - නුවණින් දැනගෙන ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට යන අර්‍ථයි. මෙහි මතු කියනු ලබන “සීතස්ස පටීඝාතාය” යනාදීන් සැළකීම ම නුවණින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම යයි දතයුතු.

චීවර නම් ; හඳන ආදීන් අතුරෙන් යමක්, (ආදි ශබ්දයෙන්) උත්තරාසංගසංඝාටි ආදිය ගන්නේ යි.

පටිසෙවාමි = වළඳිමි, හඳිමි, පොරවමි යන ද ර්‍ථ යි.

යාවදෙව = යනු ප්‍රයෝජන සීමාව නියම කොට දක්වන වචන යි. “සීතස්ස පටිඝාතාය” යනාදීන් මතු දක්වනු ලබන දෙයම යෝගීන්ගේ සිවුරු පරිභෝගයෙහි ප්‍රයෝජනය යි. එයින් වැඩි ප්‍රයෝජනයක් නැතැයි සේයි.

සීතස්ස = ශරීරයෙහි ධාතුක්‍ෂොභයෙන් හෝ බාහිරයෙහි සෘතු පෙරළීමෙන් හෝ වන යම් කිසි සීත.

පටිඝාතාය= නැසීම පිණිස යම් සේ ශරීරයෙහි ආබාධයෙක් නොවේ ද එසේ දුරු කිරීම පිණිස.

ශරීරය සීතයෙන් පීඩිත වූ කල්හි සිත වික්‍ෂිප්ත වේ. නුවණින් වීර්‍ය්‍ය කරන්නට අසමර්‍ථ වේ. එබැවින් සීත දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කටයුතුය යි බුදුන් වහන්සේ අනුදත් සේක. මතුයෙහි ද මෙසේ ය.

උණ්හස්ස = අග්නි සන්තාප, ඒ වනාහි වනදාහාදියෙහි ලැබෙන්නේ යයි දතයුතු. (ආතප යන්නෙහි සූර්‍ය්‍ය සන්තාප ගත් හෙයින් මෙහි අග්නි සන්තාප ගතයුතු.)

ඩංස මකස වාතා’තප සිරිංසප සම්ඵස්සානං

ඩංස - ඩහන මැසි. කණමැස්සෝ යයි ද කියත්; මකස - මදුරු වාත - ධූලි සහිත හෝ රහිත සුළං; ආතප - සූර්‍ය්‍ය සන්තාප; සිරිංසප - ඇදෙමින් යන දීර්‍ඝ ජාතික සර්‍පාදි, ඔවුන්ගේ ස්පර්‍ශය දෂ්ට ස්පර්‍ශය, ස්පෘෂ්ට ස්පර්‍ශයයි විවිධ වේ. ඒ විවිධ ස්පර්‍ශය ම සිවුරු පොරවාගෙන උන්නහු නොපෙළයි. එබැවින් එබඳු තන්හි ඒ ස්පර්‍ශ වළකනු සඳහා වළඳයි.

යාවදෙව = යි නැවැත යෙදීම නියත ප්‍රයෝජන සීමාව නියම කොටැ දක්වනු සඳහා ය. හිරිකොපීන පටිච්ඡාදනය නියත ප්‍රයෝජනය යි. සීතාදිය වැළකීම සමහර විටෙක ම වන්නේ ය. හිරිකොපීන නම් ඒ ඒ සම්බාධස්ථාන. යම් යම් ශරීරාඞ්ගයක් විවෘත කොටැ සිටුත් ම විළි කිපේ ද, ඒ ඒ ශරීරාඞ්ග හිරිකොපීන යයි කියනු ලැබේ. හිරිකොපීන මුවහ කරනු පිණිස යනු අර්‍ථයි. “හිරිකොපීනං පටිච්ඡා “දනත්‍ථං” යීත් පාඨයෙක් ඇත්තේ ය.

චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.


“පටිසංඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍ර‍හ්ම චරීයානුග්ගහාය ඉඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි. නවං ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච”[111] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් පිණ්ඩපාතය වැළඳිය යුතු. “නුවණින් සලකා මම පිණ්ඩපාතය වළඳමි, කුමක් පිණිස යයි සලකා ද යත්? කෙළි පිණිස නොවේ ය. මද පිණිස නොවේ ය. සැරසුම් පිණිස නොවේ ය, අලඞ්කාර පිණිස නොවේ ය. එසේ නම් කුමක් පිණිස ද යත්? හුදෙක් මේ ශරීරයාගේ සථිතිය පිණිසය. පැවැත්ම පිණිසය, බඩසා වැළැක්ම පිණිසය, බඹසරට අනුග්‍ර‍හ පිණිසය. මෙසේ මේ පිණ්ඩපාත පටිසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසමි. අධික වැ වැළඳීමෙන් වන අභිනව වේදනාත් නූපදවමි. එසේ මැ මෙයින් මගේ ජීවිත යාත්‍රාව ද, නිරවද්‍ය භාවය ද, පහසු විහරණය ද, වන්නේ ය” යනු එහි භාවයි.

විවරණය මෙසේය.

පටිසංඛා යොනිසො = යනු යට විස්තර කරන ලදී.

පිණ්ඩපාතං = යම් කිසි ආහාරයක්; භික්‍ෂූන්ගේ පාත්‍රයෙහි භික්‍ෂාචර්‍ය්‍යායෙන් - පතිත හෙයින් යම්කිසි ආහාරයෙක් පිණ්ඩපාත යයි කියනු ලැබේ. නොහොත් පිණ්ඩයන්ගේ - ඒ ඒ තන්හි දී ලත් භික්‍ෂාවන්ගේ පාත්‍ර‍ය - සමූහය හෝ පිණ්ඩපාතය යි කියනු ලැබේ. පිණ්ඩොල්‍යෙන පත්තෙ පතිතත්තා පිණ්ඩපාතො, පිණ්ඩානං වා පාතො පිණ්ඩපාතො)

පටීසෙවාමි = වළඳමි

නෙව දවාය = ගම් දරු ආදින් මෙන් ක්‍රීඩා පිණිස නොවේ ය.

න මදාය = මල්ලවාදීන් මෙන් බලමද පුරිසමද පිණිස නොවේය.

න මණ්ඩනාය = ඇතොවුරන් - (අන්තඃපුර ස්ත්‍රීන්) හා වෙසඟනන් ආදීන් මෙන් අඟ පසඟ පිණවන පිණිස නොවේ ය.

න විභූසනාය = නළු ආදීන් මෙන් විභූෂණය පිණිස - ප්‍ර‍සන්න ඡවි වර්‍ණය පිණිස නොවේ ය. කිව යුත්තෙක් ඇති. මෙහි “නෙව දවාය” යනු මොහෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද, “න මදාය” යනු ද්‍වෙෂෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද වදාළේ ය. තවද “නෙවදවාය න මදාය” යනු ස්වකීය කාමරාගාදී සංයෝජනයන්ගේ උත්පත්තිය වැළකීම සඳහා ද “න මදාය න මණ්ඩනාය” යනු පරකීය කාමරාගාදි සංයෝජනයන්ගේ උප්පත්තිය වැලකීම සඳහා ද වදාළ බව හා මේ නෙව දවයාදි සතරින් නුනුවණින් පළිපැදීමෙන් ඇතිවන කාමසුඛල්ලිකානු යොගයාගේ ප්‍ර‍හාණය වදාළ බව ද දතයුතු.

යාවදෙව = යනු යට කියන ලද අර්‍ථ මැයි.

ඉමස්සකායසස්ස = පඨවි, ආප, තේජ, වායු යන සතර මහා භූතමය වූ මේ රූපකායයාගේ.

ඨිතියා = ප්‍ර‍බන්‍ධස්ථිතිය පිණිස සන්තති අවිච්ඡොදය පිණිස.

යාපනාය = පැවැත්ම පිණිස - අවිච්ඡෙදය පිණිස නොහොත් බොහෝ කල් පැවැත්ම පිණිස.

දිරාගිය ගෙයක මිනිහෙක් එ ගෙට රුකුල් දෙන්නා සේ රිය පදින්නෙක් අකුරෙහි තෙල් ලන්නා සේ ශරීරස්ථිතිය පිණිස, ශරීරයාපනය පිණිස මේ මහණ පිණ්ඩපාතය වළඳයි. දව - මද - මණ්ඩන - විභූසන පිණිස නොවළඳයි සේයි.

තව ද ඨිති යනු ජීවිතින්‍ද්‍රියට නමෙකි. එබැවින් “ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යන මෙයින් මේ ශරීරය පිළිබඳ ජීවිතින්‍ද්‍රිය පවත්වා ගැන්ම පිණිස යන අර්‍ථය ද කියන ලද බව දතයුතු.

විහිංසූපරතියා = පීඩා කරන අර්‍ථයෙන් බඩගින්න විහිංසාය යි කියනු ලැබේ. ව්‍ර‍ණයෙහි බෙහෙත් ලන්නා සේ උණ්හ සීතාදිය ඇති වූ කල්හි එයට ප්‍ර‍තිකාර කරන්නා සේ විහිංසා සංඛ්‍යාත බඩගිනි වළකා ගැන්ම පිණිස පිණ්ඩපාතය වළඳයි.

බ්‍ර‍හ්මචරියානුග්ගහාය = සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවට හා මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස.

ඒ එසේ මැ යි :- මේ මහණ පිණ්ඩපාතය වැළඳීමෙන් ලබන කාය බලය නිසා ත්‍රිවිධ ශික්‍ෂායෙහි යෙදී සසර කතරින් එතරවීම සඳහා පිළිපදනේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස පිණ්ඩපාතය සෙව්නේ යි.

කවුරු කුමක් සෙව්නා මෙන් ද යත්? කාන්තාරයෙන් එතරවනු කැමැත්තෝ පුත්‍ර‍ මාංසය සෙව්නා මෙන්, ගඟෙන් එතරවනු කැමැත්තෝ පසුර සෙව්නා මෙන්, මුහුදෙන් එතර වනු කැමැත්තෝ නැව සෙව්නා මෙනි.

ඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි = මෙසේ මේ පිණ්ඩපාත පටීසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසා පියන්නෙම්. ‘ආභරහත්‍ථක-අලංසාටක-තත්‍ර‍වට්ටක-කාකමාසක-භුත්තවමිතක බමුණන් මෙන් පමණ ඉක්මැ වැළඳීමෙන් ලබන අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකමින් ගිලනෙක් බෙහෙත් වළඳන්නා සේ පිණ්ඩපාත වළඳයි.

තව ද වර්‍තමානයෙහි අසප්පාය-අපරිමිත භෝජන වැළඳී මෙන් ලැබෙන වේදනා පුරාණ කර්‍ම හේතුයෙන් උපදින හෙයින් පූරාණ වේදනා යි කියනු ලැබේ. සප්පාය - පරිමිත - භෝජන වැළඳීමෙන් ඒ පුරාණ වේදනා උපදවන හේතුව නැතිවන හෙයින් පැරණි වේදනාත් නසා පියන්නෙමි යි. මෙකල අයුතු පරිභෝගයෙන් මතු උපදින වේදනා නව වේදනා යයි කියනු ලැබේ. ‘යුතු පරිභෝගයෙන් ඒ නව වේදනා උපදනා හේතුව නැතිවන හෙයින් අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකා පිණ්ඩපාතය වළඳා යයි මෙසේත් මෙහි ලා අර්‍ථ දතයුතු ය.

මෙයින් සුදුසු වූ පරිභෝගයට අවසර ද, අත්තකිලමථානු යෝගයෙන් බැහැර වීම ද, ධාර්මික සැපය නොහැරීම ද දක්වන ලද්දේය යි දතයුතු.

යාත්‍රා ච මෙ භවිස්සති= හිත වූ මිත්‍ර‍ වූ භෝජනානුභවය කරණ කොට ගෙන ජීවිතේන්‍ද්‍රිය සිඳ ලන්නා වූ, ඉරියවු බිද ලන්නාවූ ද උවදුරු දුරුවන හෙයින් මේ ශරීරයාගේ බොහෝ කල් පැවතීම් සඞ්ඛ්‍යාත යාත්‍රාව ද වන්නේය යි රෝගියෙක් අහර අනුභව කරන්නා සේ පිණ්ඩපාතය වළඳයි.

අනවජජතා ච ඵාසුවිහාරො ච= නිරවද්‍ය භාවය ද පහසු විහරණය ද වන්නේ ය. (කෙසේ නිරවද්‍ය භාවය වන්නේ ද කෙසේ පහසු විහරණය වන්නේ ද යනු මෙහි දක්වනු ලැබේ.) අයුතු සෙවීම් පිළිගැනීම් පරිභෝග කිරීම් හැරැපීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. පමණ දැනැ වැළඳීමෙන් පහසු විහරණය වන්නේ ය. තව ද අසප්පාය භෝජන වැළඳීමෙන් ද, පමණ ඉක් මැ වැළඳීමෙන් ද, අරති-තන්‍දි-විජම්භිකා-විඤ්ඤුගරහාදි දොස් උපදී. එබඳු දොස් නූපී මෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සප්පාය භෝජන වැළඳී මෙන් ද, පමණ දැන වැළඳීමෙන් ද කාය බල ලැබේ. එයින් පහසු වියරණය වන්නේ ය. (අරති නම් කුශල ධර්‍මාදියෙහි නො ඇලීම. තන්‍දි නම් අලස බව විජම්භිකා නම් ඈණුම් ඇරීම-ඇඟ මැළි කැඩීම. විඤ්ඤුගරහ නම් නුවනැත්තන්ගේ ගැරහුම) තව ද ඇතිතාක් බඩ පුරා කෑමෙන් දුරුවීම හේතු කොටැ සෙය්‍යසුඛ-ඵස්සසුඛ-මිසුද්‍ධසුඛ නො ලැබේ. ඒ නොලැබීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සතර පසු පිඩක් වළඳන්නට ඉඩ ඇති වැ අහර කිස නිම කිරීමෙන් ඉරියව් පැවැත්මට පහසු වේ. එසේ වීමෙන් පහසු විහරණය වන්නේ ය.

කීයේ මැ යි.


“චත්තාරො පඤ්ච ආලොපෙ - අභූත්‍වා උදකං පිවෙ,
අලං ඵාසු විහාරාය - යුත්තයොගස්ස භික්ඛුනො”[112]

‘සතර පස් පිඩක් නොවළඳා ජලය පානය කරනු. යොගාවචර භික්‍ෂුහුගේ පහසු විහරණයට එය ප්‍ර‍මාණ වේ.’ යනු ගාථාවේ අදහසයි.

‘යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො ච’ යන මෙයින් ප්‍රයෙව්ජන විඳීම හා මධ්‍යම ප්‍ර‍තිපදාව දක්වන ලදැ යි දතයුතු. (සෙය්‍ය සුඛ නම් ශය්‍යාවෙන් ලැබෙන සැප ය. ඵස්ස සුඛ නම් ඒ අත මේ අත පෙරළීමෙන් ලැබෙන සැප ය. මිද්ධ සුඛ නම් නිදීමෙන් ලැබෙන සැප ය.)

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

“පටිසංඛා යොනිසො සෙනාසනං පටිසෙවාමි. යාවදෙව භීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාව දෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්‍ථං”[113] යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරමින් සේනාසන පරිභෝග කළ යුතුයි. “නුවණින් සලකා මම සෙනසුන් පරිභෝග කරමි. (කුමක් පිණිසය යි සලකා සෙනසුන් පරිභෝග කරම් ද යත්? මම සෙනසුන් පරිභෝග කරන්නේ) හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිස ය. මැසි මදුරු අව් සුළං දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශ නසනු පිණිස ය. (වැළි) හුදෙක් උතුසරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස යි” යනු එහි භාවයි.

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

සේනාසන = සෙනසුන් සයනය කරන තැන් සේන ය. ඉඳ ගන්නා තැන් ආසන ය. සේන ද ආසන ද = සේනාසන. සේනාසන නම් විහාර ඇඳ පුටු ආදිය යි.

උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්‍ථං - උතුපරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස. උතු නම් ශීත උෂ්ණාදිය. පරිස්සය නම් පීඩාදායක - උපද්‍ර‍වය. පීඩාදායක සෘතු ම උතුපරිස්සය යි. මෙහි කියන ලදි. එනම් ශරීරාබාධ හා චිත්ත වික්‍ෂේප කර වූ අසප්පාය සෘතු යි. සෙනසුන්හි විසීමෙන් එය දුරු කර ගත හැකි වේ. එසේ දුරු කර ගන්නා පිණිස පටිසල්ලාන නම් සිත එකඟ කර ගැන්ම ය. ඒ පටිසල්ලානයෙහි ඇලීම පටිසල්ලානාරාම ය. ඒ පිණිස ද සෙනසුන් පරිභෝග කරමි යි කී සේයි. සෙනසුන්හි විසීමෙන් සිත එකඟ කර ගත හැකි වේ.

මෙහි කියයුත්තෙක් ඇති. “සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය” යන මෙයින් උතුපරිස්සය විනෝදනය කියවුණේ ය. නැවත එය කුමක් පිණිස කියන ලද්දේ ද චීවර පරිභෝගයෙහි හා සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය අනියත ප්‍රයෝජනය යි ප්‍රයෝජන දෙකකි. චීවර පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය හිරිකොපීන පටිච්ඡාදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. එමෙන් සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය උතුපරිස්සය විනෝදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. ඒ බැව් ප්‍ර‍කාශ වනු සඳහා මේ පදය නැවත යොදන ලදැයි දත යුතු යි.

(මෙහි ලා අන්‍ය වූ ද අර්‍ථ පක්‍ෂයෙක් කියනු ලැබේ)

ඒ මෙසේ ය:- උතු සෘතු මැ ය. පරිස්සය නම් උපද්‍ර‍ව ය. ඒ උපද්‍ර‍ව වනාහි ප්‍ර‍කට උපද්‍ර‍වය ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍වය යි ද්‍විවිධ වේ ප්‍ර‍කට උපද්‍ර‍ව සිංහ ව්‍යාඝ්‍රාදීහු ය. ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව රාග ද්වෙෂාදීහු යි. යම් මෙ ද්‍විවිධ උපද්‍ර‍වයෙක් සේනාසනයෙක නො වසන්නවුන්ට ලැබේ ද, සේනාසනයෙහි වසන්නවුන්ට ඒ ඒ ද්‍විවිධ උපද්‍ර‍ව මැ නො ලැබේ. එ බැවින් ‘ඒ ද්‍විවිධ වු මැ උපද්‍ර‍ව වළකනු සඳහා සෙනසුන් පරිභෝග කරමි, යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරන්නේ යයි කී සේයි.

ඒ එසේ මැයි:- අසේනාසනයෙහි - විවෘතාඞ්ගණ වෘක්‍ෂ මූලාදියෙහි වසන්නවුන්ට සිංහාදි ප්‍ර‍කටඋපද්‍ර‍ව ද රාගද්වෙෂාදි ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව ද පැමිණිය හැකි ය.

(මෙහි නො දැක්වුණු විවරණ චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂායෙහි කී පරිදි දත යුතුයි.)

සේනාසන ප්‍ර‍ත්‍යවෙක්‍ෂා විධිය යි.

“පටිසංඛා යොනිසො ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකා නං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣ පරමාතාය” යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳිය යුතුයි. “මම නුවණින් සලකා ගිලන් පස බෙහෙත් පිරිකර වළඳමි. (කුමක් පිණිස යයි සලකා වළඳම් ද යත්? මම ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන්නේ) හුදෙක් ව්‍යාබාධයන්ගෙන් උපන් වේදනා නසනු පිණිස ය, නිදුක පරම බව පිණිස ය” යනු භාවයි.

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං = ගිලන්පස බෙහෙත් පිරිකර ගිලාන නම් රෝගය. පච්චය නම් ප්‍ර‍තිපක්‍ෂ දෙ ය. (පති අයන අර්‍ථයෙන්) භෙසජ්ජ නම් බෙහෙත් ය. භිෂජ්හු ගේ කර්‍මය භෙෂජ්‍ය. ඔහු විසින් (භිෂජ් සංඛ්‍යාත වෙදනු විසින්) අනුදන්නා ලද බැවිනි. එවිට ගිලානයට-රෝගයට ප්‍ර‍තිපක්‍ෂ වූ (සප්පාය වූ) භෙසජ්ජ-ගිලානපච්චය භේසජ්ජ යි. රෝගයට සප්පාය වූ යම්කිසි තෙල් මී පැණි ආදියෙක් කියන ලදැයි දත යුතු පරික්ඛාර ශබ්දයෙන් පිරිවාරය අලංකාරය සම්භාරය යි, අර්‍ථ තුනෙක් කියනු ලැබේ.

“සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛිතං හොති”[114] යනාදී පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් පරිවාරය කියන ලදී. “සප්තනගර පරිවාරයන්ගෙන් පරික්‍ෂාප්ත ය” යනු එහි අර්‍ථ යි. (නගර පරිවාර සත නම් කවාට, පරිඛා, උද්දාප, පාකාර, ඵසිකා පරිඝා, පාකාරත්‍ථණ්ඩිල යන මොහුයි.)

“රථො සීලපරික්ඛාරො-ඣානක්ඛො චක්කවිරියො”[115] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් අලඞ්කාරය කියනු ලැබේ. “සීල නමැති අලඞ්කාර ඇති, ධ්‍යාන නමැති අකුරු ඇති, වීර්‍ය්‍ය නමැති චක්‍ර‍ ඇති ආර්‍ය්‍ය මාර්‍ග නමැති රථය” යනු එහි අර්‍ථ යි.

“යෙ චිමේ පබ්බජිතෙන ජීවිත පරික්ඛාරා සමුදානෙ තබ්බා”[116] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් සම්භාරය කියන ලදී. “පැවිද්දා විසින් යම් ජීවිත සම්භාර කෙනෙක් එළවිය යුත්තාහු ද” යනු එහ අර්‍ථ යි.

මෙහි වනාහි පරිවාරය, සම්භාරය යන අර්‍ථද්වය කිය යුතු. ඒ ගිලානපච්චය භෙසජ්ජ ජීවිතයාගේ පරිවාර වෙයි. ජීවිත නසන ආබාධ උපදීමට අවකාශ නොදී රැකගන්නා හෙයිනි. ජීවිතයාගේ සම්භාරත් වෙයි. බොහෝ කල් ජීවිත ප්‍ර‍වෘත්තයට කාරණ වන හෙයිනි. ගිලාන පච්චය භෙසජ්ජ වූයෙත් හේ මැ ය. පරික්ඛාර වූයේත් හේ මැ නුයි ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාර, ගිලන් බව දුරු කිරීමට සප්පාය වන වෙදුන් විසින් නියම කළ තෙල් මීපැණි ආදී ජීවිත පරිවාර ජීවිත සම්භාරය යි කී සේයි.

උප්පන්නාන= උපන් - හටගත්.

වෙය්‍යාබාධිකාන= ව්‍යාබාධයෙන් නිපන් “වෙදනානං” යන්නට විශේෂණ යි. “ව්‍යාබාධ” නම් ධාතුක්‍ෂොභ හා ඒ ධාතුක්‍ෂොභයෙන් නැගෙන කුෂ්ට ගඩු පිළිකාදි ය.

වෙදනානං= දුක් වේදනාවන්ගේ - අකුශල විපාක වේදනා වන්ගේ

අබ්‍යාපජ්ඣපරමතාය= නිදුක පරම බව පිණිස යම් පමණෙකින් ඒ සියලු දුක් ප්‍ර‍හීණ වේ ද, එපමණක් පිණිස (ව්‍යාබාධො’ච - ව්‍යාපජ්ඣං = දුක්ඛං, නත්‍ථි ඵත්‍ථ ඛ්‍යාපජ්ඣංති අඛ්‍යාපජ්ඣා, නිද්දුක්ඛතා.)

ගිලාන ප්‍ර‍ත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

මෙතෙකින් නුවණින් සලකා ප්‍ර‍ත්‍යය පරිභෝග ලක්‍ෂණ වූ - ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය දත යුතු. මෙහි ප්‍ර‍ත්‍යය නම් චීවරාදි සිව්පස ය. එය ඇසුරු කෙළේ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත යි. (‘යෙ පටිච්ච = නිස්සාය පරිභුක්‍ජමානා පාණිනො යන්ති = ගච්ඡන්ති = පවත්තන්ති තෙ පච්චයා’ යනු පච්චය ශබ්දයාගේ නිර්‍වවන යි.)

ප්‍ර‍ත්‍යය සනනිඃශ්‍රිත ශීලය නිමියේ ය.


මේ සතර සංවර ශීලය කෙසේ සම්පාදනය කළ යුතු ද ?

මේ සතර සංවර සීල අතුරෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු. එයට ශ්‍ර‍ද්ධාව මැ සාධන ය. ඒ එසේ මැ යි:- ශික්‍ෂාපද පැමිණවීම බුදුනට විනා ශ්‍රාවකයන්ට විෂය නොවේ. (සැරියුත් ස්වාමි ශික්‍ෂාපද පැණවීමට යාච්ඤා කළ කල්හි බුදුහු : “ආගමෙහි ත්‍වං සාරිපුත්ත තථාගතොව තත්‍ථ කාලං ඡානිස්සති”[117] යි ශාරිපුත්‍ර‍ය! තොප නවතින්න, තථාගතයෝ මැ එයට කල් දනිත්” යයි ප්‍ර‍තික්‍ෂේප කළ සේක. එබැවින් ශ්‍රාවකයන් විසින් තථාගතයන් වහන්සේ පැණ වූ ශික්‍ෂාපද අඩු වැඩි නො කොටැ සැදැහැයෙන් සමාදන් වැ ජීවිතයෙහි දු ආශාව හැරැ පියා මනාවැ රැක්ක යුතු. කීයේ මැ යි.


“කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියංව පුත්තං නයනංව එකකං
තථෙව සීලං අනුරක්ඛමානකා
සුපෙසලා හොථ සදා සගාරවා.”

‘කිරළ බිජුවට මෙන් ද, සෙමෙර වාලධිය මෙන්ද, මව්පියෝ එක මැ ප්‍රිය පුතු මෙන් ද, එකැස් ඇතියේ ඒ එකැස මෙන්ද ශීල රක්නාහු ඇමකල්හි බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇති වැ මනා වැ ප්‍රියශීලී වව්, යනු භාවයි.

ඒ සඳහා වදාළ අන්‍ය දේශනාවක් ද මෙසේ ය.

“එවමෙව ඛො පහාරාද යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාතික්කමන්තී”[118] ‘පහාරාදය! මුහුද වෙරළ ඉක්මැ නොයන්නාසේ මගේ ශ්‍රාවකයෝ මා විසින් පැණවූ ශික්‍ෂාපද ජීවිතය නිසාවත් ඉක්මැ නොයති’ යනු එහි භාවයි. වනයෙහි සොරුන් විසින් බැඳ තුබූ ස්ථවිරයන්ගේ කථා මීට නිදර්‍ශන, වශයෙන් දත යුතු.

මහාවත්තනි නම් වනයෙහි දී සොරු එක් තෙර කෙනෙකුන් දැකැ කලවැලින් බැඳැ දැමූහ. උන්වහන්සේ වැල නොකඩා සත් දවසක් එහි හොත් සැටියේ ම හෙවැ විදර්‍ශනා භාවනා කරන්නෝ අනාගාමී වැ එහි ම කාලක්‍රියා කොට බඹලොව උපන් සේක.

එසේ මැ ලක්දිව සොරමුලෙක් එක් තෙර කෙනෙකුන් රසකිඳ වැලකින් බැඳ දැමූහ. උන්වහන්සේ ළැව් ගින්නෙන් වනය දා වැටෙන කල්හි දු වැල නො කඩා එහි ම හෙවැ භාවනා කරන සේක් ජීවිත සමසීසී වැ පිරිනිවි සේක. (ජීවිත සමසීසී නම් රහත් වූ කෙණෙහි මැ පිරිනිවන්නේ යි.) දීඝභාණක අභය තෙරුන්වහන්සේ ඒ දැකැ ශරීරය ආදාහන කොටැ ධාතු ගෙන චෛත්‍යයක් කර වූ සේක. එබැවින් අන්‍ය වූ ද සැදැහැවත් කුලදරුවා :-


පාමොක් රකින්නේ - සිය දිවි හළ ද එ මැනෝ,
ලෝ හිමි සඳුන් පැණ වූ - සිකපද නොමැ බිඳින්නේ[119]

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය රැක්ක යුතු ආකාරය යි.

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු සේ මැ ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතු. එයට සිහිටය සාධනය සිහියෙන් රැකගත් ඉන්‍ද්‍රිය අභිජ්ඣාදි පාප ධර්‍මයෝ ලුහු නො බඳිත්. එබැවින් “වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සමපජ්ජලිතාය සජොති භූතාය චක්ඛුන්‍ද්‍රියං සම්පලිමට්ඨ, න ත්‍වෙ ව චක්ඛුවිඤෙඤය්‍යෙසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො”[120] මහණෙනි, රත් වූ ගිනිගෙන දිලිහෙන යවුලකින් ඇස මදිනා ලද්දේ මැනව. චක්‍ෂුර්විඥෙය රූපයන්හි අනුඛ්‍යඤ්ජන වශයෙන් නිමිත්ත ග්‍ර‍හණය නො මැනව” - යනාදීන් වදාළ ආදිත්ත පරියාය දේශනාව සිහි කරමින්, රූපාදි ආරම්මණයන්හි චක්‍ෂුර්ද්වාරාදියෙහි පැවැති සිත් අභිජ්ඣාදීන් විසින් ලුහුබැඳ යත හැකි නිමිත්ත ග්‍ර‍හණය නො නැසුණු සිහියෙන් වළක්වා ලමින් මේ ඉන්‍ද්‍රිය සංවර ශීලය මනාකොට රැක ගත යුතුයි. ඉදින් ඉන්‍ද්‍රිය සංවර ශීලය නොරැකුණේ නම් යට දැක්වුණු ප්‍රාතිමෝක්‍ෂය සංවර ශීලය ද වැට නැති ගොයමක් මෙන් නො රැකුණේ වේ. චිරස්ථායී නො වේ. දොරවල් හැර දමා තිබෙන ගම සොරුන් විසින් පැහැර ගනු ලබන්නා සේ මැ ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය එවිට කෙලෙස් සොරුන් විසින් පැහැර ගනු ලැබේ. එ පමණක් ද මනාව සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් මෙන් ඔහුගේ සිත රාගයෙන් තෙමෙන්නේ ය.
වදාළේ මැ යි.


“රූපෙසු සද්දෙසු අථො රසෙසු
ගන්‍ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්‍ද්‍රියං
එතෙ හි වාරා විවටා අරක්ඛිතා
හනන්ති ගාමංච පරස්සහාරිනො”[121]

“රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ හේතුවෙන් උපදනා කෙලෙසුන් කෙරෙන් සිත රැක ගනු. නො පියූ - නො රැකු චක්‍ෂුරාදි ද්වාරයෝ ඒ අසංවරික පුද්ගලයා ගම් පහරන සොරු ගමක් මෙන් විනාශ කරත්” යනු එහි භාවයි.


“යථාගාරං දුච්ඡන්නං - චුටඨි සමතිවිජ්ඣති
එවං අහාවිතං චිත්තං - රාගො සමතිවිජ්ඣති”[122]

“වැස්ස මනා වැ සෙවෙණි නොකළ ගෙය තෙමන්නා සේ රාගය භාවනා රහිත සිත තෙමෙන්නේ ය”යනු භාවයි.

සර්වාකාරයෙන් කෙලෙස් නූපදින්නේ යයි මේ වදාළ දේශනා උත්කෘෂට දේශනා ය. සිත වනාහි වහා පෙරලෙන සුලු ය. එබැවින් සිත පෙරලීම් වශයෙන් යම් විටෙක රාගය උපන්නේ ද එවිට අසුභ මෙනෙහි කිරීමේ ඒ රාගය දුරු කොටැ ගෙනැ ඉන්‍ද්‍රිය සංවරය රැක ගත යුතු ය. අලුත පැවිදි වූ වංගිස ස්වාමින් මෙනි.

වංගීස ස්වාමි පැවිදි වූ අලුත ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමඟ පිඬු පිණිස වඩින්නේ එක් ස්ත්‍රියක දැක උපන් රාගයෙන් මෙසේ කීවේ ය.


“කාමරාගෙන ඩය්හාමි-චිත්තං මෙ පරිඩය්හති
සාධු නිබ්බාපනං බ්‍රෑහි - අනුකම්පාය ගොතම”[123]

“මම කාමරාගයෙන් දැවෙමි. මගේ සිත රාගයෙන් දැවේ. ගෞතම පුත්‍ර‍යාණෙනි එය නිවන උපායක් කරුණාවෙන් වදාළ මැනවි”

ඒ ඇසූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.


“සඤ්ඤාය විපරියෙසා - චිත්තං තෙ පරිඩය්හති
නිමිත්තං පරිචජ්ජේහි - සුභං රාගුපසංහිතං
අසුහාය විත්තං භාවෙහි - එකග්ගං සුසමාහිතං
සඞ්ඛාරෙ පරතො පස්ස - දුක්ඛතො නො ච අත්තතො
නිබ්බාපෙහි මහාරාගං - මා ඩය්හිත්‍ථො පුනප්පුනං”[124]

“විපරීත සංඥාව හේතු කොට තොපගේ සිත රාගයෙන් දැවේ. රාගොත්පත්තියට හේතු වූ ශුහාරම්මණය සිතින් දුරු කරනු. අශුහාරම්මණයෙහි එකඟ කොට - සමාහිත කොට සිත වඩනු. සියලු සංස්කාරයන් පර වශයෙන් දුක් වශයෙන් බලනු ආත්ම වශයෙන් නො බලනු. තොපගේ මහා රාගය නිවාලනු එයින් නැවත නැවත නො පැලහෙනු” යනු භායයි.

ඒ ඇසූ වංගීස ස්වාමි රාගය සිතින් දුරු කොට ගෙන මැ පිඬු පිණිස පිවිසියේ ය.

වැළිදු ඉන්‍ද්‍රිය සංවරය පුරන්නාහු විසින් කරද්‍ධු මහලෙන චිත්තගුත්ත තෙරුන් මෙන් ද චොරක මහවෙහෙර මහාමිත්ත තෙරුන් මෙන් ද විය යුතු.

කරද්‍ධුලෙන චිත්තගුත්ත තෙරුන්නාන්සේ

කරද්‍ධුලෙන විහාරයෙහි විපස්සි ආදි සත්බුදුවරයන්ගේ ගෘහාභිනිෂ්ක්‍ර‍මණ විසිතුරු ලෙස සිතියම් කරැ තුබුණේ ය. එක් දවසෙක භික්‍ෂු සමූහයෙක් විහාර බලමින් වඩනා ගමන් එහි දු ආවෝ ය. ඔව්හු විහාරයෙහි සිතියම් දැක “ස්වාමීනි සිතියම් සිත්කලු ය”යි ගොස් චිත්තගුත්ත තෙරුන්ට කීවෝ ය. “ඇවැත්නි මම සැට වර්‍ෂයකටත් පෙර සිට මේ ලෙනෙහි වසමි. එතෙක් මෙතෙක් මෙහි සිතියම් ඇති බවකුත් නො දැන සිටියෙමි. අද ඇස් ඇතියවුන් නිසා ඒ දැන ගතිමි”යි උන්වහන්සේ කී සේක. චිත්තගුත්ත ස්වාමි කිසි විටෙක ඇස දල්වා උඩ නො බලන ලද්දේය. එතෙක් ද ඒ ලෙන් දොර මහ නා රුකෙක් විය. අවුරුදු පතා බිම වැටී තිබෙන මල් රේනු දැක නා ගස පිපියේ වනැ’යි සිතනු විනා උන්වහන්සේ කිසි දවසෙක නා ගස උඩ නොබලන ලද්දේය.

මාගම විසු රජ්ජුරුවෝ උන්වහන්සේගේ ගුණ සම්පත්තිය අසා පැහැදැ වැඳැ ගන්නා රිසියෙන් තුන් වරෙක පණිවුඩ යැවූහ. උන්වහන්සේ නො වැඩි සේක. එවිට රජතුමා “තෙරුන් වහන්සේ වඩනා තාක් දරුවන්ට කිරි බොන්නට නො දෙමැ”යි එ ගම කිරි බොන දරුවන් ඇති ගැහැණුන්ගේ තන පටින් බඳවා මුද්දර තැබුවේ ය. තෙරුන් වහන්සේ ද දරුවන් කෙරෙහි කරුණායෙන් මාගමට වැඩි සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ අන්තඃපුරයට පමුණුවා වැඳැ වළඳවා “අද අවකාශ නැත. සෙට සිල් ගනිමි”යි උන්වහන්සේ ගේ පාත්‍ර‍ය ගෙන මඳ තැන් ගොස් දේවිය සමග වැඳැ නැවතුණහ. තෙරුන් වහන්සේ රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු “සුඛී හෝතු මහාරාජා”යි කියති. සතියක් මැ මේ ලෙසින් ගත විය. භික්‍ෂූහු “ස්වාමීනි රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු කුමක් හෙයින් ‘මහරජ සුවපත් වේවා’යි කියන සේක්දැ”යි ඇසූහ. “මම රජ්ජුරුවන් වඳනා බවක් හෝ දේවීන් වඳනා බවක් හෝ නියම නොකරමැ”යි උන්වහන්සේ කී සේක.

රජතුමා තෙරුන් වහන්සේට මෙහි වාසය අපහසු ය’යි කරඩු ලෙනට මැ යැවූයේ ය. උන්වහන්සේ එ දින රෑ සක්මන් මලුවට බටහ. නාග වෘක්‍ෂාධිගෘහිත දේවතාණෝ දඩුවැට පහන් අල්වා සිට ගත්හ. උන්වහන්සේට කමටහන විසද විය පිරිසිදු වැ වැටහුණේ ය. උන්වහන්සේ ඒ දැනැ ඉතා සතුටු වැ භාවනා කරන සේක් මැදියම ඉක්මෙන්නා ම මුළු වනය උන්නාද කරවමින් රහත් වූ සේක.


වන වඳුරු තැතිගත් - මුව බියපත් ළදරු සේ,
අත්වැඩ කැමති කුලපුත් - සසල නෙත් යුත් නොවන්නේ;
යට හෙළා ලු ඇසින් - වියදඩු පමණ බලනේ,
වඳුරු ගති යුත් මනසට වසඟ නො මැ වන් කිසිවිට.

මහාමිත්ත තෙරුන්නාන්සේ

මහාමිත්ත තෙරුන්නාන්සේගේ මෑණියන්ට විසගණ්ඩ රෝගයෙක් වැළඳුණේ ය. ඇය ගේ දූ ද භික්‍ෂුණී ශාසනයෙහි පැවිදි වැ වුසුවා ය. මෑණියෝ දුහිතා වූ භික්‍ෂුණියට අමතා, “ආර්‍ය්‍යාවනි යන්න, සහෝදර ස්වාමීන්ට මගේ රෝගය දන්වා සුදුසු බෙහෙතක් ඉල්ලා ගෙන ඒව”යි කීහ. ඕ ගොස් එ පුවත් දැන්වූවා ය. ඒ අසා තෙරුන්නාන්ගේ කියනසේක් ‘මම බෙහෙත් සාදන්ට නො දනිමි. එසේ වූවා ද මම තිට බෙහෙත් කියමි. මම පැවිදි වූ තෙක් පටන් ලෝභ සහගත සිතින් ඉඳුරන් බිඳැ විසභාග රූපයක් දිසා නො බැලුයෙමි. “මේ සත්‍ය වචනයෙන් මගේ මෑණියන්ට සුව වේවා”යි යන මේ කියා උපාසිකාව්නගේ ශරීරය පිරිමදින්නැ”යි කීහ. භික්‍ෂුණී එසේ කළා ය. එ කෙණෙහි මැ ගෙඩිය පෙණ පිඩක් මෙන් වියලී ගියේ ය. මෑණියෝ නැඟිට “ඉදින් බුදුරජාණන් වහන්සේ අද ජීවමාන සේක් නම් මගේ පුත්‍ර‍යා බඳු භික්‍ෂුවකගේ ශීර්‍ෂය කුමක් හෙයින් නො පිරිමදිනා සේක්දැ”යි ප්‍රීති වචන කීවෝ ය.

එබැවින්:-

“මම් කුලපුත්මි’ යන-මාන යුත් සෙසු මහණ ද,
මිත් තෙරිඳු ලෙස සිටිනේ - ඉඳුරු සංවර කල්හි.”[125]
ඉන්‍ද්‍රියසංවර ශීලය රැක්ක යුතු ආකාරයයි.

      ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතුසේ මැ ආජීවපාරිශුද්ධි ශීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය වීර්‍ය්‍යය යි. යහපත් වීර්‍ය්‍යය ඇත්තාහට මිත්‍යාජීවය දුරු කළ හැකිය. එ බැවින් නුසුදුසු ලෙස සිව්පස සෙවුම් දුරු කොටැ යහපත් වූ පිණ්ඩපාතචර්‍ය්‍යාදි සෙවුම් වලින් වීර්‍ය්‍යයෙන් මේ ආජීවපාරිශුද්ධි ශීලය රැක ගත යුතු. පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය මැ වැළඳිය යුතු. අපිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය විසඝෝර සර්‍පයන් මෙන් දුරුකල යුතු ධුතාඞ්ගධර නොවූ භික්‍ෂුහට සඞ්ඝයාගෙන් ද, ගණයාගෙන් ද, ධර්‍මදේශනාදි ස්වකීය ගුණයෙන් පහන් වූ ගිහීන්ගෙන් ද උපන් ප්‍ර‍ත්‍යය පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය වේ. පිණ්ඩපාත චර්‍ය්‍යාදියෙන් උපන් ප්‍ර‍ත්‍යය ඉතා පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යයයි. ධුතාංගධර භික්‍ෂු හට පිණ්ඩපාත චර්යාදියෙන් ද, ධුතගුණයෙහි පහන් ගිහීන්ගෙන් ධුතාඞ්ග[126]ධරයකු හට රෝගයක් වැළඳුණේ යයි සිතමු. ඔහුගේ ඒ රෝග ව්‍යපසමයට පූතිමූත්‍ර‍ පරිභාවිත අරළු හා චතුමධුර ලැබෙන්නේය. යමෙක් වනාහි “චතුමධුර සෙසු භික්‍ෂුහු වළඳත්වා”යි සිතා අරළුව මැ වළඳා ද එබඳු ධුතාංග සමාදානයට යෝග්‍ය වන්නේ වේ. හෙ තෙමේ මැ උතුම් ආර්‍ය්‍යවංශිකයා යි කියනු ලැබේ.

නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති

ධුතාඞ්ගධර වේවා, ධුතාඞ්ගධර නො වේවා ආජීවය පිරිසිදු කරගන්නා භික්‍ෂු හට චීවර හා පිණ්ඩපාත පිළිබඳව වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො වටනේ ය. සේනාසන පිළිබඳ වැ (ධුතාඞ්ගධර නො වූ හට) නිමිත්ත, ඔහාස, පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නොවටනේ ය.

නිමිත්ත- (භික්‍ෂු නමෙක් ගිහියන් එනු දැකැ) සේනාසනයක් කරනු සඳහා භුමි පරිකර්මාදිය කරයි. ඔව්හු අවුත් “ස්වාමීන් වහන්සේ මේ කුමක් කරන සේක් ද මේ කරදෙන්නේ කවරෙක් දැ”යි විචාරත් භික්‍ෂු “එබන්දෙක් නැතැ”යි කියයි (ඒ අසා ගිහියෝ එය අපි කර දෙමු යයි කරැ දෙත්) මේ හෝ මෙ බඳු අනෙක් විධි හෝ නිමිත්ත යයි දත යුතු.

ඔභාස- භික්‍ෂු නමෙක් උපාසකයන් ගෙන් “උපාසකවරුනි යුෂ්මත්හු කොහි වසන්නාහු දැ”යි විචාරයි. එවිට ඔව්හු “අපි ප්‍රාසාදයන්හි වසමු”යයි කියති. එවිට භික්‍ෂු “හැයි උපාසකවරුනි භික්‍ෂුන්ට ප්‍ර‍සාද නුසුදුසු දැ”යි විචාරයි. මේ හෝ මේ බඳු අනෙක් විධි හෝ ඔභාස යයි දත යුතු.

පරිකථා- (භික්‍ෂු නමෙක් උපාසකවරුන් දැකැ) “භික්‍ෂු සඞ්ඝයාට සේනස්න සම්බාධය”යි කියයි මේ හෝ මේ බඳු අනෙක් ක්‍ර‍ම හෝ පරිකථා යයි දත යුතු.

(මේ නිමිත්ත, ඔභාස, පරිකථාවන්ගෙන් නිපන් සේනාසන අකැප නොවේ. එයින් නිපන් චීවර පිණ්ඩපාත ඇකැප වේ. විඤ්ඤත්තියෙන් නිපන් චීවර පිණ්ඩපාත සේනාසන යන ප්‍ර‍ත්‍යය තුන මැ අකැප වේ.

විඤ්ඤත්තා නම්, නොනෑ නොපැවරුවන් ගෙන් ඉල්ලීමය.

බෙහෙත් පිළිබඳ වැ වනාහි නිමිත්ත, ඔභාස, පරිකථා විඤ්ඤත්ති යන සියල්ල වටනේ ය. එහෙත් රෝගය සන්සිඳුණු කල්හි එසේ ලද දෙය වැළඳීම නො වටනේ ය. මෙහි ලා විනයධරයෝ “ඒ වැළඳීමට බුදුන් අවසර දුන් හෙයින් වටනේය”යි ද සූත්‍රාන්තිකයෝ “එය වැළඳීමෙන් ඇවැත් නො වුවත් ආජීවය කෝප්‍ය වන බැවින් නො වටනේ ය”යි ද කියත්.

යමෙක් වනාහි මහ සැරියුත් ස්වාමීන් මෙන් යට දැක්වුණු සේ බුදුන් වහන්සේගෙන් අවසර ඇතත් ජීවිත විනාශයක් ලං වූ කල්හි දු කිසි ප්‍ර‍ත්‍යයක් පිළිබඳ වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො කරන්නේ ලද දෙයෙකින් යැපේ ද හෙතෙම “පරමසල්ලෙඛවුත්ති”=“අතිශයින් කෙලෙස් නසන පැවතුම් ඇත්තේ” යයි කියනු ලැබේ.

ශාරිපුත්‍ර‍ ස්වාමීන් වහන්සේ

එක් කලෙක සැරියුත් ස්වාමි විවේක සැප වඩන්නේ මුගලන් තෙරුන් සමඟ එක්තරා අරණ්‍යයෙක විසුවේ ය. එහි දී එක් දවසෙක උන්වහන්සේට උදරවාතාබාධයෙක් (බඩරුජාවෙක්) විය. බලවත් වේදනා උපන්නේ ය. මුගලන් තෙරුන්නාන්සේ සවස එහි උපස්ථානයට ගිය සේක් එපවත් දැනැ “වෙනදා මෙබන්දක් සෑදුණු කල කෙසේ සුව කැරැ ගත් සේක් දැ”යි විචාළහ. “මට ගිහි කාලයේ ද මේ ආබාධය සෑදෙන්නේය. එවිට මෑණියෝ ගිතෙල් මී සකුරු යොදා පැන් නුමුසු කිරිබතක් සාදා දෙති. එය වැළඳූ කල සුව වන්නේය”යි සැරියුත් ස්වාමි කීය. “හොඳා එසේ වේවා. අපට හෝ ඔබ වහන්සේට හෝ පින් ඇති නම් හෙට එබඳු ආහාරයක් ලබන්නේ” යි මුගලන් ස්වාමි කීයේ ය. දෙනො වහන්සේගේ මේ කථාව අසා උන් සක්මන් කෙළවර වෘක්‍ෂයෙහි අධිගෘහිත වූ දේවතාණෝ “හෙට සැරියුත් ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත දානය උපදවන්නෙමි”යි එකෙණෙහි මැ තෙරුන්නාන්සේගේ උපස්ථායක කුලයට ගොස් ඔහුගේ වැඩිමහලු පුතුට ආවේශ වැ පීඩා ඉපැදවූහ. පිළියම් පිණිස රැස් වූ නෑයන්ට “ඉදින් හෙට සැරියුත් ස්වාමීන්ට කිරිබත් පුදන්නාහු නම් මොහු හැරැ යමි”යි ද කීහ. ඔව්හු “තොප නො කීවද අපි නිතර ඒ ස්වාමීන් වහන්සේට භික්‍ෂා දෙන්නෙමු” යි කියා දෙවන දිනයෙහි එබඳු වූ මැ කිරිබත් පිළියෙල කළහ.[127]

මුගලන් ස්වාමි උදෑසන මැ ගොස් “මම පිණ්ඩපාතයේ යමි. එන තාක් වැඩ සිටින්නැ”යි කියා ගමට වැඩියේ ය. මිනිස්සු පැන අවුත් උන්වහන්සේගේ පාත්‍ර‍ය ගෙනැ කිරිබත් පුරවා දුන්හ. ආපසු වඩනා සූදානම් වූ කල “වැඩහිඳැ වළඳන්න ස්වාමිනි පසු වැ තවත් දෙන්නෙමු”යි කියා උන්වහන්සේ වළඳවාලා පසු වැ කිරිබත් පාත්‍ර‍ය පුරා දුන්නෝ ය. “තෙරුන්වහන්සේ එය ගෙන ගොස් සැරියුත් ස්වාමීන්ට “වළඳනු මැනවැ”යි පිළිගැන්වූහ. සැරියුත් ස්වාමි ඒ දැකැ “මේ කිරිබත ඉතා හොඳය, කෙසේ ලැබුණේ දැ”යි බලන්නේ ලත් සැටි දැකැ “අහක දමන්න ආයුෂ්මත්නි මේ වළඳන්නට නුසුදුසු ය”යි වදාළේ ය. “මා වැන්නකු ගෙනා පිණ්ඩපාතය ද මුන්වහන්සේ නො වළඳිති”යි මුගලන් තෙරුන්නාන්සේ චිත්ත මාත්‍ර‍යකු දු නූපදවා ඒ එක වචනයෙන් මා පාත්‍ර‍ය මුවවිටෙහි ගෙනැ එහි තුබූ කිරිබත එකත්පසෙක හළ සේක. එකෙණෙහි මැ උන්වහන්සේ ගේ ආබාධය අතුරුදහන් විය. එතැන් පටන් පන්සාළිස් වස මුළුල්ලෙහි ඒ රෝගය නැවත නො උපන්නේ ය.

ඉක්බිති සැරියුත් ස්වාමි මුගලන් තෙරුන් අමතා “ආයුෂ්මත්නි, අතුණු නික්මැ බිම වැතිරැ ගිය ද වාග් විඥප්තියෙන් නිපන් ආහාරය වළඳන්නට නුසුදුසුය”යි වදාරා මෙසේ උදන් ඇණීය.

1.  “චවීවිඤ්ඤත්ති විප්ථාරා - උප්පන්තං මධු පායසං
සචෙ භුත්තො භවෙය්‍යාහං - සාජීවො ගරහිතො මම

2.  යදපි මෙ අන්තගුණං - නික්ඛමිත්‍වා බහී චරෙ,
නෙව භින්‍දෙය්‍යමාජීවං - චජෙමානො‘පි ජීවිතං.

3.  ආරාධෙමි සකං චිත්තං - විවජ්ජෙමි අනෙසනං,
නාහං බුද්‍ධපතිකුට්ඨං - කාහාමි අනෙසනං.”

1.  වාග් විඥප්ති පැවැත්මෙන් නිපන් කිරිබත ඉදින් මම වැළඳූයෙම් නම් මගේ ආජීවය ගර්හිත වන්නේ ය.
2.  ඉදින් මගේ අතුනු පිටත නික්මියේ නමුදු, දිවි හරනේ නමුදු මම මගේ ආජීවය නො බිඳින්නෙමි.
3.  මම මගේ සිත වසඟ කරමි. අයුතු අන්වේෂණ - (ප්‍ර‍ත්‍යය) දුරු කරමි. බුද්‍ධගර්භිත වූ අන්වෙෂණයක් (ප්‍ර‍ත්‍යය සෙවීමක්) කිසි විටෙක නො කරන්නෙමි”යනු එහි භාවයි.

චීවරගුම්බක වාසී අම්බබාදක මහාතිස්ස තෙරුන්ගේ කථාව ද මෙහි ලා දෘෂ්ටාන්ත වශයෙන් දැක්විය යුතු. මෙසේ සර්‍වප්‍ර‍කාරයෙන් මැ-


සැදැහැයෙන් පැවිදි වූ - නැණැති යති අනෙසන වස්,
සිතකුදු නො මැ උපදවා - දිවි පිරිසිදු කරන්නේ.[128]

ආජීවපාරිසුද්‍ධි සීලය රැකගත යුතු ආකාරය යි.

ආජීවපාරිසුද්‍ධිසීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු සේ මැ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය ප්‍ර‍ඥායෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය ප්‍ර‍ඥා ය. ප්‍රාඥයා මැ ප්‍ර‍ත්‍යයන්හි ආදීනව හා ආනිසංස දක්නට සමර්‍ථ ය. එබැවින් ප්‍ර‍ත්‍යයගෙධය (ප්‍ර‍ත්‍යයාශාව) හැරැපියා දැහැමින් සෙමෙන් උපන් ප්‍ර‍ත්‍යය යට දැක්වුණු පරිදි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොටැ වළඳමින් ඒ පච්චය සන්නිස්සිතසීලය රැක ගත යුතුයි.

ප්‍ර‍ත්‍යවේක්‍ෂා වනාහි ප්‍ර‍ත්‍යය ලත් කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය, ප්‍ර‍ත්‍යය පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය යි දවිවිධ වේ. ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ තබනලද, චීවරාදිය, එයින් මතු ඒ ඒ ප්‍ර‍ත්‍යයට නියම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය නිරවද්‍ය මැ පරිභෝගය යි. ලත් මොහොතෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහුගේ පරිභෝගය ද නිරවද්‍ය යි.

පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාව පිළිබඳ විනිශ්චය මෙසේ දත යුතු.

චතුර්විධ පරිභෝග

පරිභෝග වනාහි :-    1. ථෙය්‍යපරිභෝගය,        
                                              2. ඉණ පරිභෝගය,         
                                              3. දායජ්ජපරිභෝගය      
                                              4. සාමිපරිභෝගය යි චතුර්විධ වේ.
                                          
1.  ථෙය්‍යපරිභෝගය

දුශ්ශීලයා සඟ මැද හිඳැ ගෙනැ වළඳන්නේ නමුදු ඔහුගේ පරිභෝගය ථෙය්‍යපරිභෝග යි. (බුදුන් විසින් සිල්වත්නට අනුදත් බැවිනු දු දායකයනු දු “සිල්වත් හට දෙම්හ”යි දෙන බැවිනු දු සිල්වතුන් අයති පසය දුශ්ශීලයා සඟ මැදැ හිඳැ වළඳතු දු උහුගෙ පරිභෝගය ථෙය්‍යපරිභෝග නම්” යනු පරාක්‍ර‍මබාහු රාජ සන්නයි. (ථෙය්‍යපරිභෝග නම් හොරා කෑම ය)

2.  ඉණපරිභෝගය

තෙමේ ශීලවත් වුව ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කොටැ වළඳන්නේ නම් ඔහුගේ පරිභොග ඉණපරිභොගයි. (ඉණපරිභෝග නම් ණය කෑම ය.) එබැවින් සිවුරු (කයෙන් පහකොටැ හඳනා පොරෝනා සියලු විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. දානය වළඳන විට පිඬක් පිඬක් පාසා ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. එසේ නො කී නම් පෙරවරු, පස්වරු, පෙරයම, මැදියම, පසුයම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. ඉදින් එසේ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කැරැ නො ගෙනැ සිටියදී මැ අරුණු නැගේ නම් ඉණපරිභෝගයට අසුවුණේ වේ. සේනාසන ද පරිභෝග කරන - කරන විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. බෙහෙත් වනාහි පිළිගන්නා කල්හි දු පරිභෝග කරන කල්හි දු ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ ද ඉදින් පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කෙළේ නම් ආපත්ති වේ. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ. (මෙහි ලා සතර වැදෑරුම් සුද්‍ධිය දත යුතු)

චතුර්විධ ශුද්‍ධිය

1.  දේශනා සුද්ධිය          
2. සංවර සුද්ධිය
3.  පරියෙට්ඨි සුද්ධිය       
4. පච්චවෙක්ඛන සුද්ධියය යි සුද්‍ධි සතර වැදෑරුම් වේ.

1.  ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වන බැවින් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය දේශනා ශුද්ධිය යි කියනු ලැබේ. (පචිති ආදිය ඇවැත් දෙසීම් මාත්‍රයෙන් ද සංඝාදිසේස සඟ මැද දෙසා පරිවාස, මානත්, අබ්හාන ගැනීමෙන් ද පිරිසිදු වේ. පාරාජිකාපත්ති මේ කවරකිනුදු පිරිසිදු නො වේ.

2. (හදිසියේ ඉඳුරන් බිඳුණු කල) නැවැත මෙබන්දක් නො කරමැයි චිත්තාධිෂ්ඨාන සංවරයෙන් පිරිසිදු වන බැවින් ඉන්‍ද්‍රියසංවර ශීලය සංවර සුද්ධිය යි කියනු ලැබේ.

3. එක්විසි අන්වේෂණයෙන් තොර වැ දැහැමින් සෙමෙන් ප්‍ර‍ත්‍යය උපදවන්නහුගේ ආජීවය පර්යේෂණ විධියෙන් ශුද්ධ වන බැවින් ආජීවපාරිසුද්ධි සීලය පරියෙඨිසුද්ධිය යි කියනු ලැබේ. (පරියෙට්ඨි නම් සෙවීම්, සෙවීමෙන් ලැබෙන සුද්ධි පරියෙට්ඨි සුද්ධි)

4. යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් ශුද්ධ වන බැවින් ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය පච්චවෙක්ඛන සුද්ධි යයි කියනු ලැබේ.

      “පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ” යයි කියන ලද්දේ මේ නිසා ය.

3.  දායජ්ජපරිභෝගය

සප්ත ශෛක්‍ෂයන්ගේ සිව්පස පරිභෝගය දායජ්ජපරිභෝගය යි. සප්ත ශෛක්‍ෂයෝ වනාහි බුදුන්ගේ පුත්‍රයෝ ය. ඔව්හු බුදුපියාණන් සතු වූ සිව්පසයට දායාදයෝ වැ වළඳන්නෝ ය. මෙහි ඇසිය යුත්තෙක් ඇති. ඔවුන් වළඳනු ලබන්නේ බුදුන්ගේ සිව්පසය ද ගිහින්ගේ සිව්පසය ද; ගිහින්ගේ සිව්පසය වුව ද ඔවුනට බුදුන් විසින් අනුදත් බැවින් එය බුදුන් සතු මැ ය. එබැවින් බුදුන්ගේ සිව්පසය වළඳනු ලැබේ ය යි කියයුතු. “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”[129] “මහණෙනි! මගේ ධර්‍මයට දායාදයෝ වව්. ආමිසයට දායාදයෝ නො වව්” යනාදින් වදාළ ධම්මදායාද සූත්‍ර‍ය මීට සාධක වේ.

4.  සාමිපරිභෝගය

රහතන්ගේ සිව්පස පරිභෝගය සාමිපරිභෝගය යි. රහත්හු වනාහි තෘෂ්ණාවට දාස වන ස්වභාවය ඉක්මවූවෝ ය. එබැවින් උන්වහන්සේලා සිව්පසයට ස්වාමියෝ ය. (“අචීතරාගයන්ට වානහි තෘෂ්ණා පරවශ බැවින් ප්‍ර‍ත්‍යය පරිභෝගයෙහි ස්වාමි බවෙක් නැති. චීතරාගයන්ට එහි ස්වාමිභාවය රුචි වූ පරිද්දෙන් ප්‍ර‍ත්‍යය පරිභෝග සද්භාවයෙනැ යි දත යුතු. එහෙයින් මැ ඔහු ප්‍ර‍තිකුලය අප්‍ර‍තිකූලාකාරයෙන් ද, අප්‍ර‍තිකුලය ප්‍ර‍තිකූලාකාරයෙන් ද, එමැ දෙක හැර උපේක්‍ෂාකාරයෙනු දු ප්‍ර‍ත්‍යය පරිභෝග කෙරෙත්නු යි දත යුතු” යනු පරාක්‍ර‍මබාහු සන්න යි.)

මේ දැක්වුණු චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට මැ වටනේ ය. ඉණපරිභොගය කිසිවෙකුට ද නොවටනේ ය. ථෙය්‍යපරිභොගය ගැනැ කියනු කිම?

ඉදින් පෘථග්ජන සීලවන්තයෙක් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කෙරේ නම්, ඔහුගේ පරිභෝගය කවර පරිභෝගයෙක් ද, එය ඉණ පරිභෝගයට ප්‍ර‍තිපක්‍ෂ බැවින් ආනණය පරිභෝගය වේ. එබඳු සීලව්නතයා ශෛක්‍ෂ සඞ්ඛ්‍යායෙහි ඇතුළත් වන බැවින් දායජ්ජ පරිභෝගය හෝ වේ හෙද වනාහි “මේ ශික්‍ෂායෙන් යුක්ත හෙයින් ශෛක්‍ෂය”යි කිය යුතු.

මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය මැ අග්‍ර‍ ය. එබැවින් ඒ සාමිපරිභෝගය ප්‍රාර්‍ථනා කරන භික්‍ෂු විසින් යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් පස්විකා වළඳමින් පච්චය සන්නිස්සිත සීලය සම්පාදනය කළ යුතු. එසේ කරනුයේ මැ කෘත්‍යකාරි වන්නේ යි.

වදාළේ මැ යි.

“පිණ්ඩං විහාරං සයනාසනඤ්ච
ආපඤ්ච සංඝාටිරජූපවාහනං,
සුත්‍වාන ධම්මං සුගතෙන දෙසිතං
සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො”[130]
“බුද්‍ධශ්‍රාවක වූ භික්‍ෂු තෙමේ ඒ බුදුන් විසින් වදාළ “පටිසංඛායොනිසො චිවරං පටිසෙවෙති” යනාදි ධර්‍මය අසා පිණ්ඩපාතය ද, විහාර, සේනාසන, හා සිවුරු රජස් දුරු කරන ජලය ද “යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන්නේ ය. (මෙ ගාථායෙහි සිව්පසය මැ ඇතුළත් ය. ‘සංඝාටි’ යන්නෙන් චීවර ද, ‘පිණ්ඩ’ යන්නෙන් පිණ්ඩපාත ද, ‘විහාරසෙනාසන’ යන්නෙන් ‘ආප’ යන්නෙන් ගිලානපච්චය ද යූ බැවිනි.


තස්මාහි පිණ්ඩෙ සයනාසනෙ ච
ආපෙච සංඝාටිරජූපවාහනෙ,
එතෙසු ධම්මෙසු අනූපලිත්තො
භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්‍දු.”[131]
‘යම් හෙයකින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ පරිභෝග කරන්නේ ද එහෙයින් ඒ භික්‍ෂු පිණ්ඩපාත, සයනාසන, චීවර, රජස් දුරු කරන ජල යන මේ සිව්පසයෙහි පියුම් පතෙහි දිය බින්දු මෙන් නො ඇලෙන්නේ ය.


‘කාලෙන ලදධා පරතො අනුග්ගහා
ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු,
මත්තං ස ඡඤ්ඤා සතතං උපට්ඨිතො
වණස්ස ආලෙපන රූහණෙ යථා”[132]
‘සුදුසු කාලයෙහි මෙරමාගෙන් අනුග්‍ර‍හයෙන් ලත් ඛාද්‍ය භෝජ්‍යයෙහි හා පැණි ආදි සායනීයයෙහි නිතර එළඹ සිටි සිහි ඇති ඒ භික්‍ෂු තෙමේ වණයට බෙහෙත් එලීමෙහි මෙන් පමණ දන්නේ ය.’ (යම් සේ ව්‍ර‍ණයෙහි බෙහෙත් එලන්නේ පමණ දැන එලා ද එසේ ආහාරය ද පමණ දැනැ වළඳන්නේ ය යූ සේයි.)


‘කන්තාරෙ පුත්තමංසංව - අක්ඛස්සබ්භඤ්ජනං යථා,
එවං ආහරි ආහාරං - යාපනත්‍ථාය‘මුච්ඡිතො’[133]
කාන්තාරයෙහි පුත්‍ර‍ මාංශ සේ, අකුරෙහි තෙල් ලීම සේ තෘෂ්ණායෙන් අමුර්ඡිත වැ යැපෙන පමණට අහර ගන්නේ ය.

මේ ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය පරිපූර්‍ණ කළ බැව්හි භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත සාමණෙරයන් වහන්සේගේ කථාව දැක්විය යුතු. උන්වහන්ස් මැනවින් පස්විකා වැළඳූ සේක. (උන්වහන්සේගේ උදාන ගාථාවන්ගෙන් එය දැක්ක හැකි ය. ඒ මෙසේ යි.)


“උපජ්ඣායො මං භුඤ්ජමානං - සාලිකුරං සුනිබ්බුතං
මා හෙව ත්‍වං සාමණෙර - ජිව්හං ඣාපෙසි අසඤ්ඤතො.

උපජ්ඣායස්ස වචො සුත්‍වා - සංවෙගමලභිං තදා,
එකාසනෙ නිසීදිත්‍වා - අරහත්තං අපාපුණිං

සොහං පරිපුණ්ණ සංකප්පො - චන්‍දො පණ්ණරසී යථා,
සබ්බාසව පරරික්ඛීණො - නත්‍ථි දානි පුනබ්භවො.”
‘එක් දවසෙක්හි මගේ උපාධ්‍යායයන් වහන්සේ ඉතා නිවුණු හැල්සාලේ බත් වළඳන මා අමතා, “සාමණෙරය! අසංයත වැ වළඳා දිව පුළු්සා නො ගනු”යි කී සේක.

එදා මම උපාධ්‍යායයන් වහන්සේගේ වචනය අසා සංවෙගයට පැමිණියෙමි. කෙතෙක් සංවෙගයට පැමිණියෙම් ද, ඒ ආසනයෙහි මැ හිඳ විවසුන් වඩා රහත් වීමි.

ඒ මම පුනුරැස් සඳ සේ පරිපූර්‍ණ මනොරථ ඇත්තෙමි. මගේ සියලු ආශ්‍ර‍ව ක්‍ෂය විණි. දැන් මට පුනරුත්පත්ති නැත.


“සෙසු මහණ ද මෙලෙස - බවදුක් දුරු කටැටියේ,
නුවණින් පස්විකා - සතරපස වළඳන්නේ”[134]

ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය සම්පාදනය කළ යුතු විධියයි.

සතර සංවර ශීල විස්තරය නිමියේ ය.

චතුර්විධ ශීල විභාගය යි.


පඤ්චවිධ සීල පිළිබඳ ප්‍ර‍ථම පඤ්චකයෙහි අර්‍ථ අනුපසම්පන්න සීලාදි වශයෙන් දත යුතු.


ප්‍ර‍ථම පඤචකය

1.  පරියන්ත පාරිසුද්ධි    
2. අපරීයන්ත පාරිසුද්ධි   
3. පරිපූණ්ණ පාරිසුද්ධි,
4.  අපරාමට්ඨ පාරිසුද්ධි 
5. පටිප්පස්සද්‍ධි පාරිසුද්ධි සීල.

1. අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල නම් වේ. වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං රියන්ත පාරිසුද්‍ධි සීලං? අනුපසම්පත්තානං පරියන්ත සික්ඛාපදානං ඉදං පරියන්ත පාරිසුද්‍ධි සීලං”[135] පරියන්ත පාරිසුද්‍ධි සීලය කවරේ ද අනුපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය පරියන්ත පාරිසුද්‍ධි සීල නම් වේ, යනු භාවයි.

2. උපසම්පන්නයන්ගේ ශීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල නම් වේ.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං අපරියන්ත පාරිසුද්ධිසීලං? උපසම්පන්නානං අපරියන්ත සික්ඛාපදානං ඉදං පටිසම්භිදායෙහි අපරීයන්ත පාරිසුද්ධි සීලං”[136] යි. ‘අපරීයන්ත පාරිසුද්ධි සීලය කවරේ ද උපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය අපරියන්ත පාරිසුද්ධි සීල නම් වේ, යනු භාවයි.

මෙහි ඇසිය යුත්තෙක් ඇති.

“නවකොටි සහස්සානි-අසීතිං සතකොටියො
පඤ්ඤාසං සතසහස්සානි-ජත්තිංසා ච පුනාපරෙ
එතෙ සංවරවිනයා- සම්බුද්ධන පකාසිතා
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා-සික්ඛා විනයසංවරෙ”[137]

යනු කී හෙයින් උපසම්පන්න සීල මෙතෙකැ යි පර්‍ය්‍යන්ත සහිත නො වේ ද කුමක් හෙයින් අපරියන්තය යි මෙහි දක්වන ලද්දේ ද ගණන් වශයෙන් එසේ පර්‍ය්‍යයන්ත සහිත වුව ද, නිරවශේෂ වශයෙන් සමාදන් වන බව හා ලාභ, යස, ඤති, අඞ්ග, ජීවිත වශයෙන් පර්‍ය්‍යන්ත රහිත බව ද සඳහා එසේ අපරියන්ත පාරිසුද්ධි යි කී නිසා දත යුතු.

(නව කෙළ දහස් එකසිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතායෙක් විනය පිටකයෙහි විස්තර වශයෙන් දක්වන ලද සංවර විනය සංඛ්‍යාත ශික්‍ෂාවෝ බුදුන් වහන්සේ විසින් වදාරන ලදහ යනු ගාථාවන්හි භාවයයි.)

මේ අපරියන්ත පාරිසුද්ධි සීලයට චීවරගුම්බකවාසි අම්බඛාදක මහාතිස්ස තෙරුන්ගේ ශීලය සාධක කළ යුතු. උන්වහන්සේ:-


“ධනං චජෙ යො පන අඞ්ගහෙතු
අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො
අඞ්ගං ධනං ජීවිතං චාපි සබ්බං
චජෙ නරො ධම්ම මනුස්සරන්නො”

යන මහාපුරුෂ චින්තාව සිහිකරමින් ජීවිතශංසයෙහි දු ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කොටැ ඒ අපරියන්ත පාරිසුද්ධි සීලය ම නිසා උපාසකයෙකුගේ පිට උඩ නංවා ගෙන යනු ලබන සේක රහත් බවට පැමිණිය හ.

(හස්තපාදාදි ශරීරාඞ්ග හේතුයෙන් ධනය දෙන්නේ ය. ජීවිතය රක්නේ ශරීරාඞ්ග දෙන්නේ ය. ධර්‍මය සිහිකරන්නේ අඞ්ග ධන ජීවිත යන සියල්ල දෙන්නේ ය යනු ගාථාවේ භාවය යි.)

අම්බඛාදක මහාතිස්ස තෙරුන්වහන්සේ

ලක්දිව චීවර ගුම්බකවාසී අම්බඛාදක මහාතිස්ස නම් ස්ථවිර කෙනෙක් වූහ. උන්වහන්සේ එක් දුර්භික්‍ෂ කාලයෙක දිර්‍ඝ මාර්‍ගයක වඩනා සේක් පිඬු පිණිස එක් ගමකට පිවිසි සේක. එහි දී උන්වහන්සේට භික්‍ෂාව නො ලැබුණේ ය. ක්ලාන්ත වූ උන්වහන්සේ ඵලිත වූ එක් අඹ ගසක් යට සිහිල් සෙවනේ වැතිරි හොත් සේක. වැටී තැබු අඹ පිළිගන්නට කෙනෙක් නො වූ හෙයින් වළඳන්නට අවකාශ නැත. නො පිළිගත් දේ වැළඳීම ආපත්තිකර බැවිනි.

මේ වේලාවෙහි එක් උපාසකයෙකේ එහි පැමිණැ එසේ ක්ලාන්ත වැ වැටී තෙරුන්වහන්සේ දැකැ අඹ පැන් මිරිකා පෙවූයේ ය. එයිනු දු උන්වහන්සේ සුවපත් නො වූහ. ඉක්බිති උපාසකයාණෝ උන්වහන්සේ පිට උඩ නංවාගෙන සිය ගමට ගෙනැ ගියහ. අතරමඟ දී උන්වහන්සේ සිහිසන් ලැබැ තමහට මැ අවවාද දෙන සේක්.

“න පිතා නපි තෙ මාතා - න ඤාති නපි බන්‍ධවො,
කරොතෙ තාදිසං කිච්චං - සීලවන්තස්ස කාරණං.”

‘මේ තගේ පියා ද නො වේ. මව් ද නො වේ. නෑ ද නො වේ. බන්‍ධු ද නො වේ. සීලවත් බව හේතු කොට ගෙන මැ මේසා කෘත්‍යයක් කෙරේ’ යයි සිතා එහි මැ යමින් විදර්‍ශන වඩා රහත් වූහ.

කියන ලද මැ යි.

“සංවෙගං ජනයිත්‍වාන-සම්මසීත්‍වාන යොනිසො,
තස්ස පිට්ඨිගතො සන්තො- අරහත්තං අපාපුණි.”
‘සංවේග උපදවා නුවණින් සන්මර්‍ශනය කොටැ ඔහුගේ පිට උඩ යන්නේ මැ රහත් බවට පැමිණියේ ය, යනු භාවයි.

3. කල්‍යාණ පෘථග්ජනයන්ගේ යම් ශීලයෙක් ඔප් නැඟු දෑ රඟ මිණි රුවනක් මෙන්, මනා වැ පිරියම් කළ ස්වණියක් මෙන් උපසම්පදායෙහි පටන් ඉතා පිරිසිදු ද, අකුසලයක් කරනු තබා සිතනු පමණ මලයකිනුදු විරහිත ද, රහත් බවට මැ කාරණ වේ ද ඒ එබඳු ශීලය පරිපුණ්ණාපාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි- “කතමං පරිපුණ්ණ පාරිසුද්ධිසීලං? පුථුජ්ජන කල්‍යාණකානං කුසලධම්ම යුත්තානං සෙක්ඛ පරියන්තෙ පරිපූර කාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං පරිච්චත්ත-ජීවිතානං ඉදං පරීපුණ්ණා පාරිසුද්ධි සිලං”[138] පරීපුණ්ණ පාරිසුද්ධි සීලය කවරේ ද කල්‍යාණ පෘථග්ජන-යන්ගේ විදර්‍ශනාචාරයෙහි යෙදී ගත් - සෙඛපරියන්තයෙහි පරිපූරකාරී විශේෂාධිගමයෙහි විනා කාය ජීවිත දෙක්හි අපේක්‍ෂා අහිත- ඒ පිණිස මැ හළ ජීවිත අතියවුන්ගේ යම් ශීලයෙක් වේද එය පරිණ්ණාපාරිසුද්ධි සීල නම් වේ, යනු භාව යි. (“නාමරූප පරිච්ඡේදයෙහි පටන් කුශල ධර්‍ම සමාදානයෙහි හෝ පටන් ගෝත්‍ර‍භුව දක්වා ප්‍ර‍වෘත්ත කුශල ධර්‍ම ප්‍ර‍බන්‍ධය ශෛක්‍ෂධර්‍මයෙහි පැහැරැ සිටි හෙයින් සේඛපරියන්ත නමි නොහොත් ශෛක්‍ෂ ධර්‍මයන් පශ්චිමානත කොටැ ඇති වූ ශෛක්‍ෂකල්ප වූ ලෞකික ත්‍රිවිධ ශික්‍ෂාවෝ සේඛපරියන්ත නම් වෙත්” යනු පැරකුම්බා සන්න යි.)

මහාසඞ්ඝ රක්ඛිත, භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත තෙරවරුන්ගේ සීල මෙහි ලා සාධක කළ යුතුයි.

මහාසඞ්ඝරක්ඛිත තෙරුන්වහන්සේ

සැටවස් ඉක් මැ ගිය මහාසඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අවසාන කාලයෙහි මරණ මඤ්චකයෙහි හොත් සේක. භික්‍ෂු සඞ්ඝයා “ඔබ වහන්සේ අධිගත ලොකොත්තර ධර්‍ම ඇති සේක් දැ” යි උන්වහන්සේ විචාළහ. “මට ලොකොත්තර ධර්‍ම නැතැ”යි උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ ඇසු උන්වහන්සේගේ උපස්ථායක ළදරු භික්‍ෂු කියන්නේ, ‘ස්වාමීනි නුඹවහන්සේ පිරිනිව් සේකැ’යි හාත්පස දොලොස් යොත්තක මහජනයා රැස්වූ හ. නුඹවහන්සේ ගේ පෘථග්ජන කාලක්‍රියායෙන් මහත් විපිළිසරයෙක් වන්නේ ය”යි කීයේ ය. “ඇවැත්නි මම මෙතේ බුදුන් දැක්කැටියේ විදර්‍ශනා නො වැඩුයෙමි. එසේ නම් මා වඩා හිඳුවා අවකාශයක් දෙව්” යයි උන්වහන්සේ කී සේක. උපස්ථායක භික්‍ෂු උන්වහන්සේ වඩා හිඳුවා පිටත නික්මුණේ ය. නික්මෙන්නා මැ තෙරුන්වහන්සේ රහත් බවට පැමිණ අසුරු ගැසීමෙන් සං:ා කළ සේක. සඞ්ඝයා එහි රැස් වැ “ස්වාමීනි මේ සා මරණ මොහොතෙහි ලෝකෝත්තර ගුණ ඉපදවීමෙහි ඔබ වහන්සේ දුෂ්කරයක් කළ සේකැ”යි කීහ. “ඇවැත්නි දුෂ්කර නම් මා මේ ඇසිල්ලෙහි රහත් වීම නො වේ. මම තොපට මා කළ දුෂ්කරය කියන්නෙමි. ඇවැත්නි මම පැවිදි වූ කාලයෙහි පටන් මතක නැති වැ- නො දැනැ කළ දෙයක් සිහි නොකරමි. දුෂ්කර නම් ඒය”යි කී සේක.

භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්වහන්සේ

උන්වහන්සේගේ බෑණුණු වූ සංඝරක්ඛිත තෙරුන් වහන්සේ ද පණස් වස් කාලයෙහි එසේ මැ රහත් වූහු.

“අප්පස්සුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො
උභයෙන නං ගරහන්ති-සිලතො ච සුතෙන ච.”[139]

‘යමෙක් ඉදින් අල්පශ්‍රැත ද- හෙවත් උගත් ධර්‍ම නැත්තේ ද, ශීලයෙහි දු මනා කොටැ නො පිහිටියේ ද ඔහුට ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ විඥයෝ ගර්‍හා කෙරෙත්;

“අප්පස්සු තොපි චෙ හොති - සීලෙසු සුසමාහිතො
සීලතො නං පසංසන්ති - නාස්ස සම්පජ්ජතෙ සුතං"

‘ඉදින් යමෙක් අල්පශ්‍රැත ද, ශීලයෙහි මනා වැ පිහිටියේ ද විඥයෝ ඔහුට ශීලයෙන් පසසත්. ශ්‍රැතයෙන් ඔහුට ප්‍ර‍ශංසාවෙක් නැත්.

“බහුස්සසුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො;
සීලතො නං ගරහනම් -නාස්ස සම්පජ්ජතෙ සුතං”[140]

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, හෙවත් ඇසූ පිරූ බොහෝ ධර්‍ම ඇත්තේ ද, සීලයෙහි මනා වැ නො පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ගරහත්. ඔහුගේ ශ්‍රැතය ද තමහට හෝ අන්‍යයන්ට හෝ සැප නො එළවයි.

“බහුපස්සුතොපි චෙ හොති-සීලෙසු සුසමාහිතො;
උභයෙන නං පසංසන්ති - සීලතො ච සුතෙනව”

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, ශීලයෙහි දු මනා වැ පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ පසසිත්.

බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධසාවකං
නෙක්ඛං ජම්බොනදස්සෙව- කො තං නින්‍දිතුමරහති
දෙවාපි නං පසංසන්තී-බ්‍ර‍හ්මුනා පි පසංසිතො.[141]

බහුශ්‍රැත වූ ධර්‍මධර වූ ප්‍ර‍ඥාසම්පන්න ඒ බුද්ධ ශ්‍රාවකයාට ජාම්බොනද නම් රන් නිකකට මෙන් කවරෙක් නින්දා කරන්නට සමර්‍ථ ද, දෙවියෝ ද ඔහුට ප්‍ර‍සංසා කරති. හෙතෙමේ බ්‍ර‍හ්මයා විසිනුදු පසස්නා ලද්දේ වෙයි.

4. ශෛක්‍ෂයන්ගේ ශීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද බැවින් අපරාමට්ඨ පාරිසුද්ධිසීලය යි කියනු ලැබේ.

පටිසම්භිදායෙහි:- “කතමං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං? සෙත්තන්තං සෙකඛානං ඉදං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං”[142] අපරාමට්ඨ පාරිසුද්ධි සීලය කවරේ ද සප්තශෛක්‍ෂයන්ගේ යම් ශීලයෙක් වේ ද එය අපරාමට්ඨ පාරිසුද්ධි සීල නම් වේ ය”යි කීහ.

පුථුජ්ජනයන්ගේ හෝ භව වශයෙන් අපරාමට්ඨ සීලය අපරාමට්ඨ පාරිසුද්ධි සීලය යි දත යුතුයි.

කුටුම්භිය පුත්තතිස්ස තෙරුන්ගේ සීලය මෙනි.

කුටුම්බිය පුත්තතිස්ස තෙරුන්වහන්සේ

සැවැත් නුවර තිසස් නම් කෙළෙඹි පුත්‍රයෙක් සතළිස් කෙළක් ධනය හැරැ පියා පැවිදි වැ අරණ්‍යයෙහි විසී ය. උන්වහන්සේගේ සහෝදරයාගේ භාර්‍ය්‍යාව උන්වහන්සේ මරනු සඳහා සොරුන් මෙහෙයුවා ය. සොරු ගොස් උන්වහන්සේ පිරිවරා ගත්හ. “තෙපි කුමට අවුදැ”යි විචාරා “නුඹ වහන්සේ මරනු සඳහාය”යි කී කල්හි “කුමක් පිණිස දැ”යි අසා “ධනය සඳහාය”යි කී කල්හි “ඇපයක් ගෙන අද එක රැයට මා නොමරා හරනු හැකි දැ”යි ඇසූ සේක. “නුඹ වහන්සේට මෙහි ඇපවන්නේ කවරෙක් දැ”යි ඔව්හු කීවේය. තෙරුන්වහන්සේ මහත් ගලක් ගෙන තමන්වහන්සේගේ ඌරු ඇට බිඳැ ගෙනැ “මේ ඇපය මඳ දැ”යි විචාළ සේක. සොරු නිසැක වැ සක්මන් කෙළවර ගිනිමැල ගසාගෙන හොත්හ. තෙරුන්වහන්සේ ඉවසීමෙන් වේදනාව මැඩැ පවත්වා ස්වකීය පරිශුද්ධි ශීලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන සේක් ප්‍රීති ප්‍රමෝද්‍යය උපදවා විදර්‍ශනා වඩා අරුනොද්ගමයෙහි රහත් බවට පැමිණි සේක. එබඳු ශීලය නිසා රහත් බවට පැමිණෙන්නට කැමැති සේක් තමා මරනු සඳහා පැමිණි චෛරීන්ට මෙසේ කී සේක.

“උභො පාදානි බින්‍දිත්‍වා - සංයමිස්සාමි වො අහං,
අට්ටියාමි හරායාමි - සරාගමරණං අහං”

“මම දෙපා බිඳැ ගෙනැ මඳ කලක් මා හරින්නට ගිවිස්වමි. මම මගේ සරාගමරණයට පිළිකුල් කරමි’ ලජ්ජා කරමි” යනු ගාථාවේ භාවයයි.

තවද එක්තරා මහතෙර කෙනෙක් ඉතා ගිලන් වැ සියතින් අහර වළඳන්නට පවා අසමර්‍ථ වැ සිය මලමූයෙහි මැ ඔබ මොබ පෙරලෙන්නේ ය. ඒ දුටු ළදරු භික්‍ෂු නමෙක් “ඛේදයෙකි! ජීවිතසංස්කාර දුක්ය”යි කීහ. එවිට මහතෙරුන් වහන්සේ ඇවැත්නි! මම දැන් මැරෙන්නෙම් ස්වර්‍ග සැප ලබමි’ මට එහි සැකයෙක් නැත. එතකුදු වුවත් මේ ශීලය බිඳැ ගෙන ලබන සැප නම් ශික්‍ෂා ප්‍ර‍ත්‍යාඛ්‍යෘනය කොටැ ලබන ගිහි බව බඳුය”යි කියා “ශීලය සමග මැ මැරෙන්නෙමි”යි එහි මැ හොත් සේක් ඒ රෝගය මැ සමමර්‍ශනය කරමින් රහත් බවට පැමිණැ මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

“ඵුට්ඨස්ස මේ අඤ්ඤතරෙන ව්‍යාධිනා
රොගෙන බාළහං දුඛිතස්ස රුප්පතො,
පරිසුස්සති ඛිප්පමිදං කලෙබරං
පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං

අජඤ්ඤං ජඤ්ඤසංඛාතං - අසුචිං සුචිසම්මතං
නානාකුණප පරිපූරං - ජඤ්ඤරූපං අපස්සතො.

ධීරත්‍ථු මං ආතුරං පූතිකායං
දුග්ගන්‍ධියං අසූචිං ව්‍යාධි ධම්මං,
යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා
හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”

‘එක්තරා ව්‍යාධියෙකින් වැටුණු වේදනාව කරණ කොටැ අතිශයින් දුඃඛිත වූ විකාරයට පත් මාගේ මේ ශරීරය හිරුරැසින් තැවුණු - පස්හි මලක් මෙන් හාත්පසින් වියලෙන්නේ ය.

අමනෝඥ වූ අඥ නයන් විසින් මනෝඥය යි ගන්නා ලද, අපිරිසිදු වූ පිරිසිදුයයි සම්මත නොයෙක් කුණපයෙන් පිරුණු, නුවණැසින් නොබලන්නා හට මනෝඥ රූපයක් සේ වැටහෙන -

ආතුර වූ, දුර්‍ගන්‍ධ වූ, අසුචි වූ, ව්‍යාධි ස්වභාව වූ මේ පූතිකායට නින්‍දා වේවා. (තවත් කෙබඳු වූ පූතිකායකට ද යත්?) යම් පූතිකායයෙක්හි රාග වශයෙන් ප්‍ර‍මාදයට පැමිණි විශේෂයෙන් මුසපත් වූ, සත්‍වයෝ ස්වර්ගෝත්පත්තියට හේතු වූ මාර්‍ගය, (ශීලය) පිරිහෙළා ගනිත් ද, එබඳු පූතිකායට නින්‍දා වේවා” යනු ගාථාවන්ගේ භාවයයි.

5. රහතන්ගේ පසේබුදුන්ගේ සම්මාසම්බුදුන්ගේ ශීලය සියලු කෙලෙස් විඩා  සංසිඳීමෙන් පිරිසිදු වන බැවින් පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

වදාළේ මැයි :- පටිසම්භිදායෙහි : කතමං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං? තථාගතසාවකානං ඛීණාසවානං පච්චෙකබුද්ධානං තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ඉදං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං”[143] යි අර්‍ථ සුගම යි.

ප්‍ර‍ථම පඤ්චකය නිමියේ ය.

ද්විතිය පඤ්චකය

1.  පහාණ  
2. වෙරමණී,  
3. චෙතනා,  
4. සංවර,  
5. අවීතික්කම සීල

1. “හිරි ඔත්තප්ප කරුණා අලොභාදී ප්‍ර‍ධාන වූ යම් කුශල චිත්තොත්පාදයෙකින් ප්‍රාණඝාත ප්‍ර‍හාණය කරනු ලැබේ ද ඒ ප්‍රාණඝාත ප්‍ර‍හාණය ශීලනාර්ථයෙන් ප්‍රහාණ ශීල නම් වේ”‍ අදින්නාදානාදිය පිළිබඳ වැ ද මෙසේ ය. මෙහි වනාහි ප්‍ර‍හාණය යි ප්‍රාණඝාතාදිය නොකරැ හැරීම විනා (අමුතු) විශේෂ ධර්‍මයෙක් නැත. ප්‍රාණඝාතාදිය නො කැරැ හැරීම ඒ ඒ කුශල ධර්‍මයන්ට පිහිටවන අර්‍ථයෙන් උපධාරණ වෙයි. (ඒ එසේ මැ යි :- ප්‍රාණඝාත ප්‍ර‍හාණය මෛත්‍රී ආදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨය. අදත්තාදාන ප්‍ර‍හාණය ත්‍යාගාදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨායි) ප්‍රාණඝාතාදිය කිරීම චිත්තසන්තානයාගේ කම්පනයට හේතු වේ. ඒ නොකිරීම් එසේ චිත්තකම්පනය නොකරන හෙයින් සමාධාන නම් වෙයි. මෙසේ හෙයින් යට දැක්වුණු උපධාරණ - සමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් ප්‍ර‍හාණය ශීලය යි කියන ලද බැව් සැලකිය යුතුයි.

2.  එසේ මැ ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම වේරමණී සීල නම් වේ.
3.  ප්‍රාණඝාතාදියට ප්‍ර‍තිපක්‍ෂ වූ චේතනාව චේතනා සීල නම් වේ.

4.  ප්‍රාණඝාතාදියෙන් සංවර වීම - ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්‍ග වසාලීම සංවරසීල නම් වේ.

5. ප්‍රාණඝාතාදීන්ගේ අව්‍යතික්‍ර‍මණය - සමාදන් වැ ගත් ශික්‍ෂාපද බිඳැ නොලීම අවීතික්කම සීල නම් වේ. උපධාරණ සාමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් මේ විරමණ, චේතනා, සංවර, අවීතික්කම ද සීල වන සැටි යට කී නයෙන් දත යුතුයි.

මේ පහාණාදි පඤ්චවිධ සීලය පටිසම්භිදායෙහි[144] විස්තර කරන ලදී. එහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

“පාණාතිපාත ප්‍ර‍හාණය පහාණ සීලය යි. පාණාතිපාත විරමණය වෙරමණී සීලය යි. පාණාතිපාතයට විරුද්‍ධ වූ චේතනාව චෙතනා සීලය යි. පාණාතිපාත සංචරණය සංවර සීලය යි. පාණාතිපාත අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ, විරමණ, චෙතනා, සංවර, අවීතික්කම පහාණාදි සීල යි.

නෙක්ඛම්මයෙන් කාමච්ඡන්‍දයාගේ ද, අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ද, ආලොකසඤ්ඤායෙන් ථීනමිද්‍ධයාගේ ද, අවික්ඛෙපයෙන් උද්ධච්චයාගේ ද, ධම්මවවත්‍ථානයෙන් විචිකිච්ඡාවෙගේ ද, ඤාණයෙන් අවිජ්ජාවගේ ද, පාමොජ්ජයෙන් අරතියෙගේ ද, ප්‍ර‍ථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ද, දුතියජ්ඣානයෙන් විතර්‍කවිචාරයන්ගේ ද, තතියජ්ඣානයෙන් ප්‍රීතියගේ ද, චතුත්‍ථජ්ඣානයෙන් සුඛදුක්ඛයන්ගේද, ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසඤ්ඤා පටිඝසඤ්ඤා නනත්තසඤ්ඤාවන්ගේ ද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවගේ ද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවගේ ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවගේ ද, අනිච්චානුපස්සනායෙන් නිචච්සඤ්ඤාවගේ ද, දුක්ඛානු පස්සනායෙන් සුඛසඤ්ඤාවගේ ද, අනත්තානුපස්සනායෙන් අත්තසඤ්ඤාවගේ ද, නිබ්බිදානුපස්සනායෙන් නන්‍දියගේ ද, විරාගානුපස්සනායෙන් රාගයාගේ ද, නිරොධානු පස්සනායෙන් තෘෂ්ණාවගේ ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ද, ඛයානුපස්සනායෙන් ඝනසඤ්ඤාවගේ ද, වයානුපස්සනායෙන් ආයූහනයාගේ ද, විපරිනාමානුපස්සනායෙන් ධුවසඤ්ඤාවගේ ද, අනිමිත්තානුපස්සනායෙන් නිමිත්තයාගේ ද, අප්පණිහිතානුපස්සනායෙන් පණිධියගේ ද, සුඤ්ඤතානුපස්සනායෙන් අභිනිවේසයාගේ ද, අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් සාරාදානාභිනිවේසයාගේද, යථාභුතඤාණ දස්සනයෙන් සම්මොහාභිනිවේසයාගේ ද, ආදීනවානු පස්සනායෙන් ආලයාභිනිවේසයාගේ ද, පටිසඞ්ඛාධම්මානුපස්සනායෙන් අප්පටිසඞ්ඛාවගේ ද, විවට්ටානුපස්සනායෙන් සංයොගාභි නිවේසයාගේ ද, සොතාපත්තිමග්ගයෙන් දෘෂ්ටිය හා සහජ වශයෙන් එක් වැ සිටි කෙලේශයන්ගේ ද, සකදාගාමිමග්ගයෙන් ඔලාරික කෙලේශයන්ගේ ද, අනාගාමි මාර්‍ගයෙන් අණුපහගත කෙලේශයන්ගේ ද, අර්‍හත් මාර්‍ගයෙන් සකල කෙලේශයන්ගේ ද ප්‍ර‍හාණය පහාණ සීලය යි. විරමණය වෙරමණි සීලය යි. චේතනා චෙතනා සීලය යි. සංවරණය සංවර සීලය යි. අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

මෙබඳු සිල් චිත්තයාගේ අවිප්පටිසාරය (විපිළිසර නො වන බව) පිණිස වන්නේ ය. අවිප්පටිසාරය ප්‍රමෝදය පිණිස වන්නේ ය. ප්‍රමෝදය ප්‍රිතිය පිණිස වන්නේ ය. ප්‍රීතිය පස්සද්‍ධිය (සංසිදීම) පිණිස වන්නේ ය. පස්සද්ධිය සොමනස්සය පිණිස වන්නේ ය. සොමනස්සය සමාධි ආසේවනය පිණිස-සමාධි වෘද්‍ධිය පිණිස-සමාධිා නැවත වැඩීම පිණිස-සද්ධින්‍ද්‍රියාදි නිෂ්පත්ති පිණිස-සමාධි පරිෂ්කාර පිණිස-සමාධි පරිවාර පිණිස-සමාධි පරිපූර්ණ පිණිස වන්නේ ය. එකාන්ත නිර්‍වෙදය පිණිස-විරාගය පිණිස-නිරෝධය පිණිස-ව්‍යාපසමය පිණිස-අභිඥා පිණිස-සම්බොධා පිණිස-නිර්‍වාණ පිණිස වන්නේ යි[145] (විස්තර කරත් හොත් ඉතා අධික හෙයින් සංක්‍ෂෙප කරන ලදී.)

ද්විතීය පඤ්චකය නිමියේ ය

සිල් නම් කිම? කවර අර්‍ථයෙකින් “සීල” යයි කියනු ලැබේ ද? සීලයාගේ ලක්ෂණ රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? ශීලය කීවැදෑරුම් ද? යන ප්‍ර‍ශ්න විසඳා නිම කරන ලද්දේ යි.

සීලය කිලිටි වන්නේ කෙසේ ද සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන ප්‍ර‍ශ්න දැන් විසඳනු ලැබේ.

ශීලය ඛණ්ඩවීමෙන්, ඡිද්‍ර‍ වීමෙන්, සබල වීමෙන්, කල්මාෂ වීමෙන් කිලිටි වේ. අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, කල්මාෂයෙන් පිරිසිදු වේ.

ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන්නේ කවර හේතුවලින් ද ලාභ, යස, ඤාති, අඞ්ග, ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථුන සංයොගයෙන් ද යන මෙයිනි.

ඒ එසේ මැ යි:-

සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක ආදියෙහි හෝ අන්තයෙහි හෝ ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය කෙළවරර කැඩී ගිය වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඛණ්ඩශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක මධ්‍යයෙහි ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය මැද සිදුරු වූ වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඡිද්‍ර‍ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක පිළිවෙළින් ශික්‍ෂාපද දෙකක් තුනක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය පිට හෝ කුස හෝ නැඟි කලු රතු ආදි විසභාග වර්‍ණයෙන් යුත් (කබර) දෙනක මෙන් වූයේ සබල - (කබර) ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක අතර අතර ශික්‍ෂාපද යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය අතර- අතර විසභාග පැහැ ඇති තිත් දෙනක් මන් වූයේ කල්මාෂ ශීල නම් වේ. මෙසේ ශීලය ඛණ්ඩාදි වන්නේ ලාභාදි හේතුයෙන් ගත් ශීලය ඒ ලාභාදිය ලත් කල බිඳැ ලීමෙනි. (සප්තාපත්තිස්කන්‍ධ නම් : පාරාජික, සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්භාසිත යන මේ යි.)

සප්තවිධ මෛථුන සංයෝගයෙනුදු ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන බව යට කියන ලදි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර‍ය මෙසේ ය.

1. “ඉධ බ්‍රාහ්මණ එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා සම්මා බ්‍ර‍හ්මචාරී පටිඡානමානො නහෙව ඛො මාතු ගාමෙන සද්‍ධිං වයං වයසමාපත්තිං සමාපජ්ජති, අපිච ඛො මාතුගාමස්ස උච්ඡාදනං නහාපනං සම්බාහනං සාදියති, සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච චිත්තිං ආපජ්ජති, ඉදම්පි ඛො බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සචලම්පි කම්මාසම්පි. අයං වුච්චති බ්‍රාහ්මණ අපරිසුද්ධං බ්‍ර‍හ්මචරියං චරති. සංයුත්තො මෙථූනෙන සංයොගෙන. න පරිමුච්චති ජාතියා ජරා මරණෙන -පෙ-- න පරිමුච්චති දුක්ඛස්මා ති වදාමි.

2. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පි-සාදියති. අපි ච ඛො මාතු ගාමෙන සද්‍ධිං සඤ්ජග්ඝති, සංකීලති, සංකෙළායති, සො තදස්සාදෙති - වදාමි.

3. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න - සංකෙළායති. අපි ච ඛො මාතු ගාමස්ස චක්ඛුං උපනිජ්ඣායති. පෙක්ඛති - සො - වදාමි.

4. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පෙක්ඛති. අපි ච ඛො මාතුගාමස්ස සද්දං සුණාති තිරොකුඩ්ඩා වා තිරොපාකාරාවා හසන්තියා වා භණන්තියා වා ගායන්තියා වා රොදන්තියාවා සො - වදාමි.

5. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- -න - රොදන්තියා වා අපිච ඛො යා නිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්‍ධිං හසිත ලපිත කීළිතා නි, තානි අනුස්සරති. සො තදස්සා දෙති ---පෙ--- වදාමි.

6. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න අනුස්සරති. අපිච ඛො පස්සති ගහපති වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි පමප්පිතං සමඞ්හිභූතං පරිචාරයමානං සො තදස්සාදෙති ---පෙ--- වදාමි.

7. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පරිචාරයමානං. අපිච ඛො අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍ර‍හ්මචරියං චරති. ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍ර‍හ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා ති. සො තදස්සා දෙති ---- පෙ ---- ඉදං පි බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පීති”[146]

මෙහි සංක්‍ෂිපත භාවය මෙසේ යි.

සප්තමෛථූනය

1. බ්‍රාහ්මණය! මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් තුමූ සම්‍යක් බ්‍ර‍හ්මචාරි යයි ප්‍ර‍තිඥා කරන්නෝ මාගම් - (ස්ත්‍රීන්) හා සමඟ මෙවුන්දම් සේවනය නො කරති. එතකුදු වුවත් මාගම් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, නැහැවීම්, අත් පා මැඩීම් ඉවසති. ආස්වාදනය කරති. කැමති වෙති. සතුටු වෙත්. බ්‍රාහ්මණය! මේ වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වේ. බ්‍රාහ්මණය! ඔවුන් මෛථුන සංයෝගයෙන් යුක්ත වැ අපිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙතියි කිය යුතු. ඔවුන් ජාති ජරා මරණාදියෙන් - දුකින් නොමිදෙන්නාහ යි කියමි.

2. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් නො සෙවති. ඔවුන් විසින් කරනු ලබන ඇඟ ඉලීම් ආදිය ද නො ඉවසති. එතකුදු වුවත් ඔවුන් සමඟ කෙලෙස් වශයෙන් සිනාසෙති. සෙල්ලම් කරති. මමත්‍වය කරත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

3. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම්, සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම් නො කෙරෙති. එතකුදු වුවත් මාගමුන් ඇසින් ඇස පැහැර බලති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද සබල ද, කල්මාෂ ද වන්නේ ය.

4. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, ඇසින් ඇස පැහැරැ බැලීම් නො කරති. එතකුදු වුවත් භිත්තියෙන් ප්‍රාකාරයෙන් පිටත සිටැ සිනාසෙන කථා කරන - ගායනා කරන - හඬන - මාගමගේ ශබ්දය අසත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

5. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, බැලීම්, හඬ ඇසීම් නො කරති. එතකුදු වුවත් පෙර මාගමුන් සමඟ කළ සිනා, කථා, ක්‍රීඩා සිහි කරති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

6. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේස මාගම් සමඟ මෙවුන්දම් ආදිය නො කරති. කථා ද සිහි නො කරති. එතකුදු වුවත් පඤ්චකාමයෙන් සමර්පිත සමඞ්ගීභූත ගෘහපතීන් හෝ ගෘහපති පුත්‍ර‍යන් හෝ දැක එය - (පඤ්චකාමය) කැමැති වෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

7. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම් ආදිය නො කරති. පස්කම් සැප විඳින ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍ර‍යකු හෝ දැකැ එය කැමැති නො වෙති. එතකු දු වුවත් එක්තරා දිව්‍යනිකායක් ප්‍රාර්‍ථනා කොටැ ගෙන “මම මේ ශීලයෙන් හෝ ව්‍ර‍තයෙන් හෝ තපසින් හෝ බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙන් හෝ ප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ අප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ වෙම්වා”යි බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

මෙසේ සප්තවිධ මෛථුනයෙන් ශීලයාගේ ඛණ්ඩාදි භාවය සඞ්ග්‍ර‍හ කරන ලදැයි දත යුතුයි.

ශීලය අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, අකල්මාෂ වන්නේ කවර
හේතුවලින් ද

සර්‍වාකාරයෙන් ශික්‍ෂාපද බිඳ නො ගැන්ම ය; බිඳුණු ප්‍ර‍තිකර්‍ම කරගත හැකි ශික්‍ෂාපදවලට ප්‍ර‍තිකර්‍ම කර ගැන්ම ය; සප්තවිධ මෛථුනයෙන් වියුක්ත වීම ය; අන්‍යවූත් ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්හ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යනාදි පාපධර්‍මයන් නො ඉපදවීම ය. අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛතාදි ගුණ උපදවීම ය යන මේ හේතු වලින් ශීලයාගේ අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, අකල්මාෂ භාවය වන්නේ ය.

යම් සීල කෙනෙක් ලාභ, යස, ධන, ඤාති, අඞ්ග, ජීවිත පිණිස පවා නො බිඳ රැකැ ගන්නා ලද්දේ ද පමා වරදෙකින් බිඳුණ ද යළි පිළියම් කරැ ගන්නා ලද්දේ ද, මෛථුන සංයෝගයන්ගෙන් හෝ ක්‍රෝධ උපනාහාදි පාපධර්‍මයන්ගෙන් අනුපහතයෝ ද ඒ සීලයෝ සර්‍වප්‍ර‍කාරයෙන් අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස සීලයෝ යයි කියනු ලැබෙත්. එබඳු සීලයෝ මැ තෘෂ්ණාදාසත්‍වයෙන් මුදන බැවින් භුඡිස්ස නම් වෙති. නුවණැතියන් විසින් පසස්නා ලද බැවින් විඤ්ඤුප්පසත්‍ථ නම් වෙති. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්‍ශ නො කළ බැවින් අපරාමට්ඨ නම් වෙති. උපචාර අර්පණා සමාධි උපදවන බැවින් සමාධි සංවත්තනික නම් ද වෙත්. මෙසේ හෙයින් අඛණ්ඩාදි භාවය මැ ශීලයා ගේ වොදාන - (පිරිසිදු බව) යයි දත යුතු යි.

ද්විධ සීල වොදාන

මේ සීල වෝදානය - (සීලයාගේ පිරිසිදු බව) වනාහි සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය. සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම ය යන දෙයාකාරයෙන් සිද්ධ වේ.

සීලවිපත්තියෙහි ආදීනව දැක්ම

“පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා”[147] යනාදීන් වදාළ නයෙන් සීලවිපත්තියෙහි ආදීනව දත යුතුයි. “මහණෙනි! දුස්සීලයාගේ සීලවිපත්තියෙහි මේ ආදීනව පසෙකි.

1. “මහණෙනි! සීලවිපන්න දුස්සීලයා ප්‍ර‍මාද හේතුයෙන් මහත් වූ භෝග හානියට පැමිණෙන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි පළමුවන ආදීනවය යි.

2. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයාගේ ලාමක කීර්‍තති ශබ්දයෙක් පැන නඟින්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි දෙවන ආදීනවය යි.

3. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේව යි; බ්‍රාහ්මණ පිරිසකට වේව යි; ගෘහපති පිරිසකට වේව යි; ශ්‍ර‍මණ පිරිසකට වේව යි අවිසාරද වැ මකු වැ එළඹෙන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි තෙවන ආදීනවය යි.

4. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා සම්මුඪ වැ කලුරිය කරන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි සිව්වන ආදීනවය යි.

5. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා කාබුන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි පස්වන ආදීනවය යි.” (මේ වනාහි සූත්‍ර‍යාගේ භාවය යි.)

තව ද දුශ්ශීලයා ස්වකීය දුශ්ශීල භාවය හේතු කොටැ දෙව් මිනිසුන්ට අප්‍රිය වන්නේ ය. සබ්රම්සරුන් විසින් පිළිකුල් බැවින් අනුශාසනා නො කළ යුතු වන්නේ ය. දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේ දුක් වන්නේ ය. ශීලවන්තයන් ප්‍ර‍ශංසා කරන කල්හි විපිළිසර වන්නේ ය. හණ වස්ත්‍ර‍යක් මෙන් ගුණයෙන් හා ශරීරයෙන් දුර්‍වණ ද, දෘෂ්ටානුගතියට පැමිණෙන්නවුන්ට අපාය දුක් එළවන බැවින් දුඃසපර්‍ශ ද, දන් දෙන්නවුන්ට මහත් ඵල නො කරන හෙයින් අල්පාර්ඝ ද වන්නේ ය. හව්රුදු ගණන් ඉක්මුණු අසූචි වළක් මෙන් දුඃශෝධ්‍ය වන්නේ ය. දරට ද, වැඩට ද, නො ගත හැකි සොහොන් පෙනහෙල්ලක් මෙන් ගිහිකමින් ද, මහණුවමින් ද බැහැර වන්නේ ය. “මමත් ගවයෙකිමි”යි ගෝගණයා අනු වැ යන ගද්‍ර‍භයකු මෙන් තෙමේ “භික්‍ෂු” යයි ප්‍ර‍තිඥා කරත් භික්‍ෂුවෙක් නො වන්නේ ය. සියල්ලන්ට වෛරී පුරුෂයකු මෙන් නිති උද්වේග වන්නේ ය. මළමිනියක් මෙන් සංවාසයට සුදුසු නො වන්නේ ය. බහුශ්‍රැතත්‍වාදියෙන් යුක්ත නමුදු බමුණන් විසින් සොහොන් ගින්න මෙන් සබ්රම්සරුන් විසින් නො පිදිය යුතු වන්නේ ය. රූ දැක්මෙහි අන්‍ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වන්නේ ය. රාජ්‍යයෙහි සැඩොල් කොලු මෙන් සද්ධර්‍මයෙහි නිරාස වන්නේ ය. අග්ගික්ඛන්‍ධොපම සූත්‍රයෙහි වදාළ දුකට හිමි වැ සිටින බැවින් තෙමේ සුඛිතය යි සිතන්නේ නමුදු දුක්ඛිතමැ වන්නේ ය.

ඒ එසේ මැ යි :-

පඤ්චකාම ගුණ පරිභෝගයෙහි හා වන්‍දනමානනාදිය ලැබීමෙහි සුඛාස්වාදයෙන් ගථිත වූ සිත් ඇති දුස්සීලයනට ඒ හේතුවෙන් ලැබෙන - සිහිවන පමණෙනු දු හෘදය තප්ත කොටැ උණු ලේ නැංවීමට තරම් වූ අති කටුක දුක් දක්වන - සර්‍වාකාරයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කර්‍ම විපාක ඇති - “පසස්ථ නොතුම්හෙ භික්ඛවෙ අමුං මහන්තං අග්ගික්ඛන්‍ධං ආදිත්තං සමපජ්ජලිතං සජොතිභූතං ති. එවං භනෙත තං කිං මඤ්ඤථ භික්ඛවෙ! කතමං නු ඛො වරං යං අමුං මහන්තං අග්ගික්ඛන්‍ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභුතං ආලිංගිත්‍වා උපනිසිද්‍යෙ වා? උපනිපජ්ජෙය්‍ය වා? යං ඛත්තියකඤ්ඤං වා බ්‍රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුන හත්‍ථපාදිං ආලිඞ්ගිත්‍වා උපනිසිදෙය්‍ය වා? උපනිපජ්ජෙය්‍ය වා? ති”[148] යනාදීන් අග්ගික්ඛන්‍ධොපම සූත්‍ර‍ය භගවත් බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

එහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

“එක් කලෙක භගවත් බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරන සේක් දිලී නැගෙන මහා ගිනිකඳක් දැකැ මාර්‍ගයෙන් ඉවත් වැ එක් රුක් මුලෙක පැණෙව් අස්නෙහි වැඩැ හිඳැ භික්‍ෂූන් අමතා “මහණෙනි! තෙ මහා ගිනිකඳ දක්නහුදැ”යි වදාළ සේක. භික්‍ෂූහු “එසේය ස්වාමිනි දකුම්හ”යි කීවාහු ය.

“මහණෙනි! තොපි කුමක් සිතව් ද තෙල මහා ගිනි කඳ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම හොඳ ද මෘදු මොළොක් අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම හොඳ ද” “ස්වාමීනි! ක්‍ෂත්‍රියාදි කන්‍යාවක් වැළැඳැ ගෙනැ හිඳීම හෝ නිදීම සොඳ ය. තෙල මහා ගිනිකඳ වැළඳැ ගෙන හිඳීම හෝ නිදීම දුකය.”

“මහණෙනි! මම තොපට දැනුම් දෙමි. අපිරිසිදු සැක කටයුතු හැසුරුම් වලින් යුත් - පිළිසන් කර්‍මාන්ත ඇති - අශ්‍ර‍මණ වැ ශ්‍ර‍මණයයි ප්‍ර‍තිඥා කරන - අබ්‍ර‍හ්මචාරී වැ බ්‍ර‍හ්මචාරීයයි ප්‍ර‍තිඥා කරන - ඇතුළ කුණු වූ - කෙළෙස් වලින් තෙත් - හටගත් කෙලෙස් කසට ඇති දුස්සීලයකු තෙල මහා ගිනිකඳ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේය. මහණෙනි! දුස්සීල වැ මෘදු මොළොක් අත් පා ඇති ක්‍ෂත්‍රියාදි කන්‍යාවක් වැළඳැ ගෙනැ හිඳියේ නම් නිදියේ නම් එය උහුට අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

“මහණෙනි! තොපි කුමක් සිතව් ද කුමක් සොඳ ද බලසම්පන්න පුරුෂයකු විසින් සම් මස් නහර ඇට සිඳැ ඇටමිදුලු දක්වා හැපී සිටින සේ දෘඪ වූ වල් රැහැණෙකින් ජඞ්ඝා දෙක වෙළා ඇදීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ වැඳුම ඉවසීම සොඳ ද” ‘ස්වාමීනි! වැඳුම් ඉවසීම සොඳ ය. වල් රැහැණින් ජඞ්ගා දෙක වෙළා ඇදීම දුක ය” මහණෙනි! මම තොපට දැනුම් දෙමි. වල් රැහැණින් එසේ ජඞ්ඝා දෙක වෙළා ඇදීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේ ය. මහණෙනි! දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ වැඳුම් ඉවසීම අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් තෙල් සණ ලූ තියුණු අඩයටියෙකින් ළමැද පැහැරීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම සොඳ ද” ස්වාමීනි! ඒ ඇඳිලි ඉවසීම සොඳ ය. තලේ සණ ලූ තියුණු අඩයටියෙන් ළමැද පැහැරීම දුක ය” මහණෙනි! මම තොපට දැනුම් දෙමි. එ බඳු අඩයටියෙන් ළමැද පැහැරීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේ ය. මහණෙනි! දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලවත් පුරුෂයකු විසින් ගිනි ගෙන දිලියෙන යපටයකින් ඇඟ වෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන සිවුරු පරිභෝග කිරීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ය.)

“මහණෙනි! තොපි කුමක් සිතව් ද” බලසම්පන්න පුරුෂයකු විසින් ගිනි ගෙන දිලියෙන යකඩ අඬුවකින් මුඛය විවෘත කොටැ තොල්, මුව, දිව, උගුර, පපු දවා අතුණු අතුණු බහන් බැහැර යන සේ ඇවිළ ගත් ලොහො ගුළි මුඛයෙහි දමා ලීම් සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාලයන් සැදැහැයෙන් දෙන පිණ්ඩපාතය වැළඳීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ය.)

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් තෙල් සණ ලු තියුණු අඩයටියකින් ළමැද පැහැරීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම් ද සොඳ ද” ස්වාමිනි ඒ ඇඳිලි ඉවසීම සොඳ ය. තෙල් සණ ලූ තියුණු අඩටියෙන් ළමැද පැහැරීම දුක ය” මහණෙනි මම තෙපට දැනුම් දෙමි. එ බඳු අඩයටියෙන් ළමැද පැහැරීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් ඔහු අපායට නො යන්නේ ය. මහණෙනි දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම් අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ අපායට යන්නේ ය.”

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලවත් පුරුෂයෙකු විසින් ගිනි ගෙන දිලිසෙන යපටකින් ඇඟ වෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන සිවුරු පරිභෝග කිරීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ක.)

“මහණෙනි තොපි කුමක් සිතව් ද” බලසම්පන්න පුරුෂයකු විසින් ගිනි ගෙන දිලිසෙන යකඩ අද්‍ධුවකින් මුඛය විවෘත කොටැ තොල්, මුව, දිව, උගුර, පපු දවා අතුණු අතුනුබහත් බැහැර යන සේ ඇවිළි ගත් ලොහො ගුළි මුඛයෙහි දමා ලීම් සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාලයන් සැදැහැයෙන් දෙන පිණ්ඩපාතය වැළඳීම සොඳ ඳ” – (සෙස්ස යට කී සේ ක.)

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් හිස හෝ කඳ හෝ අල්වා ගෙන ගිනි ගෙන දිලිසෙන ඇඳෙක හෝ පුටුවක හොවාලීම හෝ හිඳුවීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන ඇඳ පුටු පරිහරණය කිරීම සොඳ ද” (සෙස්ස යට කී සේ ක.)

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් පා උඩු කොටැ හිස යටි කොටැ අල්වා ගෙනැ ගිනි ගෙන දිලිසෙන ලොහකුම්භියෙක පෙණ නඟමින් වරින් වර උඩ යට සරස යන සේ හෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන විහාරයෙක විසීම සොඳ ද (සෙස්ස යට කී සේ ක.)

“මහණෙනි තොප විසින් “අප යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමු ද, ඔවුන්ගේ ඒ උපකාර අප විසින් මහත් ඵල මහානිසංස කළ යුතු ය. අපගේ මහණුවම් ද වඳ නො කොට සඵලකර ගත යුතුය’ යි හික්මිය යුතු ය. මහණෙනි ආත්මාර්‍ථය හෝ පරාර්‍ථය හෝ උභයාර්‍ථය හෝ බලන්නහු විසින් අප්‍ර‍මාදයෙන් සම්පාදනය කර ගත යුතු යි” (මේ සූත්‍ර‍ය දේශනා කරත් සැටක් පමණ භික්‍ෂූන්ගේ මුඛයෙන් උණු ලේ නැංගේ ය. සැටක් පමණ භික්‍ෂූහු “දුෂ්කරය ස්වාමීනි අති දුෂ්කරය ස්වාමිනි” යි ශික්‍ෂා ප්‍ර‍ත්‍යඛ්‍යාන කොටැ ගිහි වූහ. සැටක් පමණ භික්‍ෂූහු රහත් වූහ.)

මෙහි වල් රැහැන්, තියුණු අඩයටි, යපට, යගුළි, යකඩ ඇඳපුටු, යකුළු උපමා වලින් අභිවාදන, අඤ්ජලීකර්‍ම, චීවර, පිණ්ඩපාත, ඇඳපුටු, විහාර පරිභෝගයෙන් වන දුක් දක්වා වදාළ සේක.

එබැවින් මතු දැක්වෙන පරිදි ද ශීලවිපත්තියෙහි ආදීනව දැක්ක යුතු.

(ගාථාවන්ගේ භාවය.)

ගිනිකඳ වැළඳ ගැන්මෙන් වන දුකට වඩා අධික දුක් දෙන කටුක විපාක ඇති කාමසුඛය නො හරන දුශ්ශීල මහණ හට සැපයෙක් කොයින් ද

දෘඪ වූ වල් රැහැනින් ගැසීමෙන් වන දුකට වඩා අධික දුකට හේතු වන වැඳුම් ඉවසීමෙහි දුශ්ශීල හට කවර නම් සුවයෙක් ද

තියුණු අඩයටියෙන් පහරන දුකට වඩා අධික දුකට හේතු වන සැදැහැවතුන්ගේ ඇඳිලි ඉවසීමෙහි දුශ්ශීල හට කවර සැපෙක් ද

යමකු විසින් බොහෝ කලක් නිරයෙහි ගිනි ගෙන දිලියෙන යවට පහස් විඳිය යුතු ද, ඒ දුශ්ශීල හට චීවර පරිභෝග සුඛය නම් කිම.

යමකු විසින් බොහෝ කලක් ගිනි ගෙන දිලියෙන යවට ගිළිය යුතු ද, ඒ දුශ්ශීල හට මධුර ද වූ පිණ්ඩපාතය හළා හළ විස වැන්නේ ය.

ගිනි ගෙන දිලියෙන අයොමඤ්ච දුඃඛයෝ යමකු පෙළත් ද, ඒ දුශ්ශීල හට සුඛ සම්මත ද මඤ්චපීඨපරිභෝගය දුඃඛ මැ වන්නේ ය.

යමකු විසින් ගිනි ගෙන දිලියෙන ලොහොකුඹු මැද විසිය යුතු ද, ඒ දුශ්ශීල හට ශ්‍ර‍ද්ධාදෙය වූ විහාරයෙහි කවර නම් නිවාස රතියෙක් ද

ලෝකස්වාමින් වහන්සේ යමෙකුට නින්‍දා කරන සේක් “සංකස්සරසමාචාරය, කසම්බුජාතකය, අවස්සුතය, පාපය, අනේතාපූතිය” යි වදාළ සේක් ද-

ඒ ශ්‍ර‍මණ නො වූ ශ්‍ර‍මණවේෂධාරී වූ - අභාග්‍යවත් වූ - ගුණ කැඩුණු - ගුණ තුවාළ වුණු ආත්මය ධරන්නා වූ - දුශ්ශීලයාගේ ජීවිතයට නින්‍දා වේවා.

මණ්ඩනකාමීහු අසූචි මෙන් කුණප මෙන් ශීලවත් සත් පුරුෂයෝ යමකු දුරු කරත් ද, ඒ දුශ්ශීලයාගේ මෙලොව ජීවිතය කුමට ද

කිසි බියෙකින් නො මිදුණු - සියලු අධිගම සුඛවලින් මිදුණු - පියාලූ ස්වර්‍ගවාර ඇති - අපාය මාර්‍ගයට ආරූඪ වූ කාරුණික ජනයාගේ කරුණාවට භාජන වූ දුශ්ශීලයා බඳු අනෙකක් නම් කවරේ ද

මෙසේ දුශ්ශීලයාගේ දෝෂ අනේකවිධයි;

මේ ආදිය සලකා ශීලවිපත්තියෙහි ආදීනව දැක්මෙන් ශීලවෝදානය සිද්ධ වේ. මෙයට ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් ශීල සම්පත්තියෙහි ආනිසංස දැක්මෙන් ද ශීලවෝදානය සිද්‍ධ වේ.

තවද ශීලසම්පත්තියෙහි ආනිසංස මෙසේ ද දත යුතුයි.
(ගාථාවන්ගේ භාවය)

යමෙකුගේ ශීලය නිර්‍මල වන්නේ ද, හුගේ පා සිවුරු ධැරීම ප්‍ර‍සාදජනක වෙන්නේ ය. ඔහුගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව ද ඵලවත් ය.

‘හිරු කරා අන්‍ධකාරය මෙන් ශුද්ධ ශීල භික්‍ෂූහුගේ හෘදය කරා අත්තානුවාදාදි භය නො එළඹෙන්නේ ය.”

“ගුවනෙහි චන්‍ද්‍ර‍යා ප්‍ර‍භා සම්පත්තියෙන් මෙන් තපෝ වෙනෙහි ශීලවත් භික්‍ෂු ශීලසම්පත්තියෙන් බබළන්නේ ය.”

“ශීලවත් භික්‍ෂුහුගේ කායගන්‍ධය ද දෙවියන්ට ප්‍රියංකර වන්නේ ය. ශීලගන්‍ධය ගැන කියනු කිම?”

“නගර මල්ලිකාදි සියලු ගන්‍ධ ජාතීන්ගේ සුගන්‍ධය අභිභවනය කොටැ ශීල සුගන්‍ධය සියලු දික්හි අප්‍ර‍තිහත වැ හමන්නේ ය.

“ශීලවත්හු කෙරෙහි කළ ස්වල්ප ක්‍රියා ද මහත් ඵල වන්නේ ය. එහෙයින් සීලවන්තයා පූජාසත්කාරයන්ට භාජනයි.”

“මේ ආත්ම භාවයෙහි වන වධබන්‍ධනාදි උපද්‍ර‍වයෝ සීලවන්තයා නොපෙළති. ඒ සීලවන්තයා පරලොව දුඃඛයන්ගේ මූල ද කණන්නේ ය.”

“මනුෂ්‍යයන් අතර ඇති තාක් සැප ද, දෙවියන් අතර ඇතිතාක් සැප ද කැමැතිවත් හොත් සීලවන්තයාට දුර්‍ලභ නො වේ.”

“අත්‍යන්ත ශාන්ත වූ යම් නිර්‍වාණ සම්පත්තියෙක් වේ ද, සීලවන්තයා ගේ සිත ඒ නිවන් සැප කරා මැ දිවන්නේ ය.”

“නුවණැත්තේ සියල් සැපතට මුල් වූ ශීලයෙහි මෙසේ අනේකාකාර විස්තර වූ ආනිසංස ප්‍ර‍කාශ කරන්නේ ය.”

“මෙසේ සලකන්නහුගේ සිත ශීලවිපත්තියෙන් උද්විග්න වැ ශීලසම්පත්තියට නැමෙයි. එහෙයින් යථෝක්ත ශීල විපත්තියෙහි ආදීනව ද ශීල සම්පත්තියෙහි ආනිසංස ද දැකැ සර්‍ව ප්‍රේමයෙන් ශීලවොදානය කර ගත යුතුයි.

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් වදාළ විශුද්‍ධිමාර්‍ගයෙහි ශීලය මෙතෙකින් විස්තර කරන ලද්දේ ය.

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්‍ධිමාර්‍ගයෙහග

ශීලනිර්‍දෙශ නම් ප්‍ර‍ථම පරිච්ඡේද යි.
~~~~~~~~~~~~~~~~~~~~



Comments

Popular posts from this blog

දස අකුසල්